Tuesday 18 June 2013

වාස්ගේ වැඩ තහනම්

පුද්ගල ඝාතනයකට අදාළව චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිණි.

කෙසේ වෙතත් මේවන විට අදාළ මිනිස් ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන මහතා සැකකරුවෙකු වී සිටින බව සඳහන්ය.

බම්බලපිටියේ මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළව සැකපිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 10 වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව වාස් ගුණවර්ධන මහතා පැය 72ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

කෙසේ වෙතත් වාස් ගුණවර්ධන මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පසුව ඇතුළත් කෙරිණ.

සැකකාර වාස් ගුණවර්ධන මහතා එදිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමද සිදුවූ අතර ඔහු ජූනි මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වාස් ගුණවර්ධන මහතා පසුගිය 15 රාත්‍රීයේ බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පියවර ගත්තේය.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

උප පොලිස් පරික්‍ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ ද වැඩ තහනම් කර තිබේ.

‍සිදුකරමින් යන පොලිස් පරීක්ෂණවලට බාධාවක් නොවනු පිණිස වාස් ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියා සිටියේය.

No comments:

Post a Comment