Saturday 8 June 2013

ජනපතිගේ පුවරුවකින් ගරාජයක් හැදු අයෙක් රිමාන්ඩ්

ජනාධිපතිවරයාගේ සහ ඇමැති බැසිල් රාජපක්ෂ ගේ රුව සහිත දැන්වීම් පුවරුවක් යොදාගෙන සිය ත්‍රිරෝදරථය නවතා තැබීම සදහා ගරාජයක් සෑදු පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
වැව් දෙදහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් සවි කර තිබූ පුවරුවක් මෙ පුද්ගලයා විසින් ගලවාගෙන ගොස් ඇති බව අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශණ අංශය කියයි.
මෙම පුවරුව යොදා ගනිමින් සිය ත්‍රිරෝද රථය නවතා තැබීම සඳහා ගරාජයක් හදමින් සිටියදී මෙ පුද්ගලයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු මේ මස 12 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කර තිබේ.
අනුරාධපුර අලුත්ගම ගම්බිරිගස්වැව මයිදීන් අබුකර් සියාම් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වෙයි. මෙම සොරකම් සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර අලුත්ගම ගම්බිරිගස්වැව පදිංචි අබ්දුල් කපුර් මොහොමඩ් ඉර්ෂාඩ් යන අය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටද විනිසුරුවරිය නියෝග කළාය.
අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් සේනානායක මහතාට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමක් සම්බන්ධයෙන් අවධානය යොමු කර සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

No comments:

Post a Comment