Saturday 8 June 2013

පොලිසියේ 4 ක් අත්අඩංගුවට ගනිද්දී, මොහොමඩ් සියාම් ඝාතනය කළ අයුරු සහ හේතු හෙළිවේ

ගංගාරාම වෙසක් කලාපය විවෘත කරන්නට ඉකුත් වෙසක් ‍පොහෝ දින ජනාධිපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු සහ ආරක්ෂකයන් හැරුණු කොට තවත් අමුත්තෙක් සිටියේය. ඔහු මුස්ටාක්ය. මුස්ලිම් ජාතිකයෙක්වූ මුස්ටාක් ජනාධිපතිවරයා ධීවර ඇමැතිවරයාව සිටි කාලයේ සිටම හිතවතෙකි. එදා ගංගාරාම වෙසක් කලාපය විවෘත කරන්නට ජනාධිපතිවරයා ඔහුවද රැගෙන එන්නට ඇත්තේ එම හිතවත්කම නිසා විය හැකිය.
කෙසේ වෙතත් මේ සටහන තබන්නට යන්නේ ජනාධිපති සහ මුස්ටාක් අතර ඇති හිතවත්කම ගැන නොව මුළු රටේම මේ දිනවල දැඩි අවධානයටත් කතාබහටත් ලක්ව ඇති බම්බලපිටියේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කොන්ත්‍රාත්තුවකට මරා දැමීමක් ගැන කියන්නටය. ජනාධිපති සහ මුස්ටාක් මෙයට සම්බන්ධ වන්නේ එසේ පැහැර ගෙන ගොස් මරා දැමෙන්නේ මුස්ටාක්ගේ ඥාති සහෝදරයකු වන බැවිණි.
ඔහු එම්.එම්. මොහොමඩ් සියාම්ය. තිදරු පියෙකු වන සියාම් පදිංචිව සිටියේ බම්බලපිටිය සාගර පාරේ නිවසකය. මැති ඇමැතිවරුන් පවා ළඟින් ඇසුරු කළ අයෙකු වන සියාම් පාවහන් කොටස් ආනයනය කොට එකළස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියෙකි. එකී ව්‍යාපාරය ඔහු කරගෙන ගියේ මිතුරෙකු සමග හවු‍ලේය. ඔහු නමින් ෆවුස්ඩීන්ය.
එදා මැයි 22 වෙනිදාය. බම්බලපිටියේ පිහිටි සියාම්ගේ නිවසට සියාම්ගේ හවුල්කරු ෆවුස්ඩීන් පැමිණෙන්නේ යම් ව්‍යාපාරික කටයුත්තක් ගැන කතා කර ගන්නටය. ෆවුස්ඩීන් ඒ වන විට සියාම්ට ණයකාරයෙක්ද වී සිටියේය. ඒ කෝටි ගණනින්ය. ඒ පැමිණි ෆවුස්ඩීන්ද සමග එදා සියාම් නිවසින් පිටව යන්නේ ඔහුට අයත් නවීන මෝටර් රථයේ නැගීය. කොළඹ-ගාලුපාර අයිනේ ඇති අවන්හලකට ගොඩවන ඔවුන් එදා රාත්‍රී ආහාරය ගන්නේද එහිදීය. එදා එසේ ගිය සියාම් එතැන් සිට ආගිය අතක් නැති පුද්ගලයෙකු බවට පත්වන්නේ පසුදින එළිය වැටෙනවිටවත් නිවසට නැවත නොපැමිණීමත් සමගිනි.
සියාම්ගේ දුරකථන පවා ඒ වන විට පැවැතියේ ක්‍රියා විරහිතවය. ෆවුස්ඩීන් පවසන්නට වූයේ අවන්හලෙන් රාත්‍රී ආහාරය ගෙන තමාව වැල්ලවත්තේ පිහිටි නිවසින් ඇරලවා ඔහු ගිය බවය.
එතැන් සිට සියාම්ව සොයා ‍පොලීසි ගානේ ඇවිද්දේ ෆවුස්ඩීන්ය. බම්බලපිටිය ‍පොලීසියේ ඔහු ඒ ගැන පැමිණිල්ලක් පවා කළේය. එකී පැමිණිල්ල නිසි විභාගයකට කොළඹ අපරාධ කොට්ඨාසයට යොමුවන්නේ එදා ගංගාරාම වෙසක් කලාපය විවෘත කරන්නට ජනාධිපති ගමන් ගත් මෝටර් රථයේ ගමන්ගත් මුස්ටාක් සිය ඥාති සහෝදරයාගේ අතුරුදන්වීම ගැන ජනාධිපතිවරයා සමග පැවසීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ඒ වන විට සියාම් ගමන් ගත් මෝටර් රථය තිබුණේ මිරිහාන ‍පොලිස් භූමියේය. ඒ 22 දා රාත්‍රියේ සිට නුගේගොඩ කන්දෙවත්ත පාරේ අතහැර දමා තිබුණු එම මෝටර් රථය හිමිකරු පැමිණෙනතුරු මිරිහාන ‍පොලීසියට රැගෙන විත් තිබුණු නිසාය. මෝටර් රථය ‍පොලිස් ස්ථානයට 23 වෙනිදා ගෙනැවිත් තිබුණද එම රථය සියාම්ට අයත් මෝටර් රථය බව කිසිවෙකුත් දැන නොසිටියේය. ඒ බව අනාවරණය කර ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයයි.
මෝටර් රථය හමුවුණු ස්ථානය කොතැනදැයි මිරිහාන ‍පොලීසියෙන් දැනගත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සියාම්ගේ අබිරහස් අතුරුදන්වීම ගැන විමර්ශන පටන් ගන්නේ එතැන් සිටය. ඒ එම ස්ථානයට ගොසිනි.
මෝටර් රථය අතහැර ගිය ස්ථානයට මඳක් ඔබ්බෙන් ඇති නිවසක සවිකර ඇති ආරක්ෂිත කැමරාවක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ නෙත ගැටෙන්නේ එවිටය. සියාම්ගේ හදිසි අතුරුදන්වීමේ අබිරහස විසඳෙන්නට මගපෑදෙන්නේ එකී කැමරාවේ සටහන්ව තිබුණු රූප රාමු පරීක්ෂා කිරීමේදීය.
තමාව වැල්ලවත්තේ නිවසට ඇරලවා සියාම් ගිය බව ෆවුස්ඩීන් පැවැසුවත් එදා ඒ මෝටර් රථය කන්දෙවත්ත පාරේ අතහැර යන්නේ ෆවුස්ඩීන් මිස වෙන කිසිවෙකුත් නොවන බව පැහැදිලි වන්නේ එවිටය.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පැහැදිලි වන්නේ ෆවුස්ඩීන් ඒ වන විටත් ද්විත්ව රංගනයක නිරතව සිටිනා බවය. සියාම්ගේ අතුරුදන්වීමට සෘජුවම වගකිව යුත්තේ ෆවුස්ඩීන් මිස වෙන කිසිවෙකුත් නොවන බව එම රූප රාමුවලින් පැහැදිලි වූ බැවින් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් 30 වෙනිදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබිය. ඒ ප්‍රශ්න කිරීමටය.
මූලික ප්‍රශ්නකිරීම් හමුවේ කඩපාඩම්කරගත් එකම තැටියක් ඔහු වාදනය කළත් ක්‍රමයෙන් ප්‍රශ්නකිරීම් තදබල වනවිට ඔහු කට ඇරියේ තවදුරටත් ඝාතනය සඟවාගෙන බොරුකීමෙන් ඵලක් නොවන බව වැටහුණු නිසා විය හැකිය. සිදුවී තිබුණේ සියාම්ව පැහැරගෙන ගොස් මරාදැමීමකි.එකී සැලසුම ෆවුස්ඩීන්ගේය. ඒ ඔහු සියාම්ට ගෙවන්නට ඇති ණය බරින් මිදී පාවහන් ව්‍යාපාරය තමාගේම කරගැනීමේ අරමුණ ඇතිවය.
ෆවුස්ඩීන් එදා උපක්‍රමශීලීව සියාම්ව නිවසින් පිටතට ගෙන ගොස් නුගේගොඩ කන්දෙවත්තේදී බාර කරනුයේ සන්නද්ධ කණ්ඩායමකටය. සියාම්ව රැගෙන යන්නට කල්තියා කළ සැලසුමකට අනුව ඔවුන් වෑන් රථයකින් එහි පැමිණ සිටියේය. එකී කණ්ඩායම එහි පැමිණියා යැයි කියැවෙනුයේ ෆවුස්ඩීන් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුවය. එය රුපියල් ලක්ෂ 30ක් බව සඳහන්ය.
කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ වෙන කිසිවෙකු නොව ශ්‍රී ලංකා ‍පොලීසියේ ලොකු ‍පොඩි නිලධාරීන් රැසකගේම “මචං” යාළුවෙකු වන ක්‍රිෂාන්තය. නමුත් ඔහුව කවුරුත් හඳුනන්නේ ‘චුට්ටේ’ යැයි කීවිටය. නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රමයක් වන උන්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් හුවමාරුවේ යෙදෙන, පිටකොටුවේ රජකරන ව්‍යාපාරිකයෙකු වන ‘චුට්ටේ’ සිය ‍පොලිස් මිතුරන්ගේ හයියෙන් අගරු චෙක්පත් ආරවුල්ද විසඳා දෙන්නෙකි. ඒ කොමිස් මුදලකට යටත්වය. ඒ මුදලින්ද කොටසක් ‍පොලීසියේ සාක්කුවට යන බවටද චෝදනා ඇත.
යුද්ධය පැවති කාලයේ ‘චුට්ටේ’ මුදල් හම්බකරන්නට අපූරු කටයුත්තක්ද කර තිබුණේය. ඒ බව සඳහන් කරන්නේ එකී කටයුත්ත ගැන දන්නා ‍පොලිස් නිලධාරීන්ය. කොළඹ සිටින දෙමළ ව්‍යාපාරිකයන් චුට්ටේට හිතවත් ‍පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබයි. ඒ කොටි සම්බන්ධකම් ගැන කියමිනි. එකී ව්‍යාපාරිකයන් නිදහස්කර ගන්නට මැදිහත් වන්නේ චුට්ටේය. ඒ නිකම් නොව මිලියනයක් දෙකක් අරගෙනය. එයින් කොටසක් යන්නේ ‍පොලීසියේ සාක්කුවට බව පැවසේ. මේ නිසා ‘චුට්ටේ’ සහ ‍පොලීසිය ගහට ‍පොත්තමෙනි. පිටරට සවාරි පවා ‍පොලීසියේ ඇතැම් නිලධාරීන්ට චුට්ටේගෙන් ලැබෙන්නේ සන්තෝෂම් ලෙසිනි.
මෙකී චුට්ටේ කවුරුන්දැයි ඒ වනවිටත් කොළඹ අපරාධ කොට්ඨාසය දැන සිටියේය. ඒ අනුව 30 වෙනිදා රාත්‍රියේම චුට්ටේව කෝට්ටේ පිහිටි නිවසට ගොස් අත්අඩංගුවට ගත්තේය.
පැහැර ගැනුණු සියාම්ව එදිනම රාත්‍රියේ හංවැල්ල – මල්වාන මාර්ගයේ මාපිටිගම මීපාගම පාරේ මීටර් 200ක් පමණ දුරකින් ඇති ලඳු කැලෑවකට රැගෙන ගොස් නිරුවත් කොට වෙඩි තබා මරා දැමුණු බව හෙළිවන්නේ චුට්ටේගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේදීය. හිසට වෙඩි තබා මරා දැමුණු ඒ මළ සිරුර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත 23 වෙනිදාම දොම්පේ ‍පොලීසිය විසින් සොයාගෙන තිබුණේය. නාඳුනන මළ සිරුරක් ලෙස ඒ වන විටත් එම මළ සිරුර තිබුණේ ගම්පහ රෝහ‍ලේ මෘත ශරීරාගාරයේය.
කොළඹ අපරාධ කොට්ඨාසය 31 වෙනිදාම එකී මළ සිරුර සියාම්ගේම දැයි තහවුරු කරගනු ලබන්නේ ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකු සමග ගම්පහ රෝහල වෙත ගොස්ය. ඒත් සමගම එකී ඝාතනයට ‍පොලිස් කණ්ඩායමක හවුලක්ද කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගත්තේ මුළු ‍පොලිස් දෙපාර්තමේන්තුවම මවිත කරමිනි. ෆවුස්ඩීන්ගෙන් ලබාගත් ලක්ෂ 30න් කොටසක් ‘චුට්ටේ’ විසින් ‍පොලීිසියටද ලබාදී ‍පොලීසිය හරහා එම ඝාතනය කළ බවට සැකයක් ද ඇතිවන්නට වූ බැවිනි. ‍පොලිස් නිලධාරීන්ට එකී මුදල බෙදී ගිය ආකාරයද ෆවුස්ඩීන් හෙළිකරන බව ඒත් සමගම කොළඹ අපරාධ කොට්ඨාස බලධාරීන් ‍පොලිස්පතිවරයා දැනුවත්කිරීමට වගබලා ගත්තේ ඉදිරි විමර්ශන සඳහා අවසර පතමිනි.
එහිදී ‍පොලිස්පතිවරයා එකී විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත්කොට රහස් ‍පොලීසියට භාර දෙන්නට පියවර ගනු ලබන්නේ එකී හෙළිදරව්වේ ඇති බරපතළ කරුණු කාරණා කෙරෙහි වඩාත් සැලකිල්ලට ගෙනය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් ‍පොලීසිය සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජනය වූ ‍පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් 05 වෙනිදා රාත්‍රියේදීය. එදින පෙරවරුවේ ඔවුන්ට රහස් ‍පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අය අතර උප ‍පොලිස් පරීක්ෂකවරයෙක්ද කොස්තාපල්වරු තිදෙනෙකුද විය. ඒ කිසිවෙකුත් තමන් එම ඝාතනයට සම්බන්ධ බව ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත් බවක් රහස් ‍පොලීසියේ අභ්‍යන්තර තොරතුරු මගින් දැනගන්නට නැත. මේ නිලධාරීන්ගේ සේවා සටහන් රහස් ‍පොලීසියේ පරීක්ෂාවට ලක්වන්නේ ඒ නිසා විය හැකිය.
බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මේ ‍පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමත් සමග රහස් ‍පොලීසිය ඉකුත් 06 වෙනිදා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාවද කැඳවා පැය පහක් පුරාවට ඔහුගෙන් ඒ ගැන කරුණු විමසා තිබුණේය. නැවත 07 වෙනිදා ඔහුව රහස් ‍පොලීසියට කැඳවා තිබුණද පසුව එය අවලංගු කොට තිබුණේ සමුළුවකට සහභාගිවීමට රටින් බැහැරව සිටින ‍පොලිස්පතිවරයා නැවත 09 වෙනිදා ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ උපදෙසින් ඉදිරි පියවර ගන්නට විය හැකිය. එහෙත් මුළු ‍පොලිස් දෙපාර්තමේන්තුවම බලා සිටින්නේ කුමකින් කුමක් සිදුවේදැයි කියාය.

                                                 ගයාන් කුමාර වීරසිංහ
                                                උපුටා ගැනීම: ලක්බිම

No comments:

Post a Comment