Saturday 1 June 2013

විදුලි කණුව හිසමත කඩා වැටී පියා ඉදිරියේම දියණිය මරු දකී




ලොරි රථයක පැටලුණු රැහැන් සමග විදුලි කණුවක්‌ ඇඟ මතට කඩා වැටී මහ මඟ ගමන් ගනිමින් සිටි නාවලපිටිය කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ 10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගල්පාය, තැලිහුන්න ජනපදයේ පදිංචි කිරිපිටිගේ දිව්‍යාංජලි විනෝදා නෙත්මිණි රෝයල් නමැති 14 හැවිරිදි පාසල් දැරියකි.



මියගිය නෙත්මිණිගේ උත්සව අවස්‌ථාවකදී ඇගේ මව හා පියා විසින් දියණියට බත් කැවූ අවස්‌ථාවක්‌
 
ඇය එම පාසලේම ඉගෙනුම ලබන සිය නැගණිය හා අසල්වාසී පාසල් ගුරුවරියක සමග සිය නිවස දෙසට යමින් සිටියාය. මොවුන්ගේ පියා ත්‍රිරෝද රථයකින් ඔවුන් නිවසට රැගෙන යැමට පැමිණෙමින් සිටියදී එම පියා ඉදිරිපිටදීම මෙම අනතුර සිදුව ඇත.

ප්‍රධාන මාර්ගයෙන් හැරී නිවස දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ උස තට්‌ටුවක්‌ සහිත ලොරි රථය මොවුන්ගේ පියා පැදවූ ත්‍රිරෝද රථයට ඉඩ ලබාදීමට සූදානම් වීමේදී පහතින් ඇද තිබූ මෙම විදුලි රැහැන්වල පැටලි විදුලි කණුව කඩා වැටී ඇත්තේ ත්‍රිරෝද රථය අසල සිටි මෙම ශිෂ්‍යාවගේ හිස මතටය.

එකට ගමන් කරමින් සිටි ඇගේ නැගණිය හා ගුරුවරිය මෙන්ම ඇගේ පියා හා ත්‍රිරෝද රථය මෙම අනතුරින් බේරී ඇත්තේ පුදුම සහගත අයුරිනි. විදුලි කණුවට යට වූ දියණිය හා අනෙකුත් පිරිස අතරේ තිබූ පරතරය අඩියකටත් වඩා අඩු දුරක්‌ බව කුරුඳුවත්ත පොලිසියට කටඋත්තරයක්‌ දෙමින් මියගිය ශිෂ්‍යාවගේ පියා වන කිරිපිටිගේ ෂෙල්ටන් පවසා තිබිණි.

නිවසේ ඇති ත්‍රිරෝද රථයෙන් උදෑසන දියණිය පාසල් රැගෙන ගොස්‌ සවසට ද එම ත්‍රිරෝද රථයෙන් ඔවුන් රැගෙන එම සිදුකළත් රෝගී වූ අසල්වැසියකු රෝහල්ගත කිරීමට සිදුවූ නිසා මෙදින තම දියණියන් රැගෙන ඒමට පමා වී ඇත. මේ නිසා ඔවුන්ට නිවසට පයින් යන ලෙස දන්වා ඔවුන් රැගෙන ඒම සඳහා ඒ දෙසට පියා විසින් ත්‍රිරෝද රථය රැගෙන ගොස්‌ තිබේ.

විදුලි කණුවට යට වූ දියණිය පියා විසින් රැගෙන ඔහුගේ ත්‍රිරෝද රථයෙන්ම ගම්පොළ ශික්‌ෂණ රෝහල වෙත රැගෙන විත් තිබිණි.

පහතින් ඇද තිබූ විදුල් රැහැන් හා ශක්‌තිමත් නොවූ විදුලි කණු සිටුවා තිබීම මෙන්ම නුසුදුසු වාහන ධාවනය කිරීම මෙවැනි අනතුරුවලට හේතු බව ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.



පරීක්‌ෂණ පැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය ලොරි රථය සමග එහි රියෑදුරු අත්අඩංගුවට ගෙන ඊයේ (30 දා) ගම්පොළ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මිය ගිය පාසල් ශිෂ්‍යාවගේ මරණ පරීක්‌ෂණය ඊයේ (30 දා) දින පැවැත්වීමට නියමිතව තිබිණි.

ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති අනුර සිල්වා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment