Wednesday 5 June 2013

පොලිස් පහරදීමකින් මිය ගිය දේහය රැගත් උද්ඝෝෂණයකට හබරාදුවේදි නැවතත් පොලිස් ප‍්‍රහාරයක්



පොලිස් පහරදීමකින් මිය ගිය බව කියන පුද්ගලයෙකුගේ දේහය ද රැගෙන හඹරාදුව නුගදුව හන්දියේ දී අද උදෑසන උද්ඝෝෂණයක යෙදුණු පිරිසක් පොලිසිය විසින් විසුරුවා හැරුණා. නෙත් නිවුස් වෙත ඒ බව කියා සිටියේ එම උද්ඝෝෂණයට සහභාගි වුවෙක්.

 මේ අතර මිය ගොස් සිටින පුද්ගලයාගේ බිරිඳ නෙත් නිවුස් වෙත ඊයේ කියා සිටියේ පොලිස් පහරදීම් නිසා සිය සැමියා මහත්සේ වේදනා විඳි බවයි.

මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසියෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මියගිය පුද්ගලයා ගෙවල් බිඳුම් සහ විදේශිකයින්ගෙන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් ඉකුත් 25 වැනිදා අත්අඩංගුවට ගත් අයෙකු බවයි. එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරෙයින් ග‍්‍රෑම් 02ක් සොයා ගත් බවද ඔහු විසින් සොරාගත් බව කියන භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්‍ෂ සියයක් ඉක්මවන බව ද ප‍්‍රකාශ කෙරුණා. දින 06ක් පමණ රැඳවුම් නියෝග යටතේ ප‍්‍රශ්න කිරිමෙන් පසු ඉකුත් 31 වැනිදා ඔහු ගාල්ල බන්ධනාගාරයට භාරදුන් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. එහිදී ඇතිවු කිසියම් අසනීපයක් නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරුණු බවද ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඉකුත් ඉරිදා මිය ගිය බවද ප‍්‍රකාශ කෙරුණා. එහෙත් කිසිඳු පහරදිමක් සිදුනොකළ බවයි අවධාරණය කෙරුණේ. 

 

No comments:

Post a Comment