Tuesday 18 June 2013

සාක් කලාපයේ හොඳම නළුවා ශ්‍රී ලංකාවේ තිසල් කිසිවකුත් ඒ ගැන කතා නොකරන්නේ කුහකකම නිසා ද?

කිසිවකුත් ඒ ගැන කතා නොකරන්නේ කුහකකම නිසා ද?

තුන්වැනි සාක් චිත්‍රපට සම්මාන උළෙල අවසන් ව දින ගණනාවක් ගත වී තිබේ. එහි උණුසුම වියැකී ගොසිනි. ඒ පිළිබඳ ගැඹුරුවූත්, දැවැන්තවූත් සමාජ කතිකාවක් නිර්මාණය විය යුතුව ම තිබුණ ද තවමත් (මෙම ලිපිය ලියන මොහොත වන විටත්) එවන් දෙයක් වූයේ නැත. මෙරට සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමේ දී ඒ සඳහා වන පූර්ව සූදානම, ප්‍රචාරණය සේම උළෙ‍ලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මාධ්‍ය මගින් යොමුකරන අවධානය කතෛක් ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහෙත් දකුණු ආසියානු සිනමා උළෙල නිමාවට පත්වූයේ ඒ කිසිවක නොවූ තරමේ නිහැඩියාවකිනි.
අනෙක් පැත්තෙන් සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් කලාපීය කලා හා සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන්නා වූ එක් අංගයක් වන සාක් චිත්‍රපට උළෙල සුළුවෙන් තැකිය යුතු නොවේ. මන්ද සාක් සංවිධානය හා බද්ධ වූ තවත් ප්‍රධාන ම අංගයක් වන සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් රටක් වශයෙන් වන සූදානමත්, ඒ වෙනුවෙන් ලැබෙන රාජ්‍ය අනුග්‍රහය මෙන් ම ඒ ඒ ඉසව්වට ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් යොමුකරන අවධානයත් සුළුපටු නොවන නිසා ය. එසේ ම යම් ඉසව්වක රන්, රිදී හෝ ලෝකඩ පදක්කම් ලාභීන් වෙනුවෙන් යොමුකෙරෙන අවධානය සේ ම ඔවුන් රටට ගෙන එන කීර්තිය වෙනුවෙන් නැගෙන ඔල්වරසන් හඬ සැම දනගෙ සිත් තුළ නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන බැවිනි.
ජාත්‍යන්තර සිනමා උළෙලක් මේ රටේ පවත්වන්නට ලැබිම ම භාග්‍යයකි. මෙරට සිනමාව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දෙන කරුණු කාරණා රැසක් වෙමින් පවතිනා මෙසමයෙහි දකුණු ආසියානු රටවල චිත්‍රපට උළෙල මෙරටේ පැවැත්වීම ම එක් අතකින් සුවිසල් ජයග්‍රහණයකි. සිනමා රසිකයන්ට ලැබුණා වූ ඉතා දුර්ලභ අවස්ථාවකි. සාක් කලාපයේ සිනමාවට සමීපවීමට ලද හොඳ ම අවස්ථාවකි. එයින් නිසි ඵල නෙලා ගත්තා ද නොගත්තා ද යන්න වෙන ම කරුණකි. එහෙත් සාක් කලාපයේ සිනමාව අතින් අප රට ඉදිරියෙන් සිටීම
සන්තුෂ්ඨියට කරුණකි.
((අ)වාසනාවකට සාක් චිත්‍රපට උළෙල අයිෆා උළෙලක් නොවී ය ?)
සාක් කලාපයේ සිනමාව තුළ අප ඉදිරියෙන් සිටිනවා යැයි පැවසුවේ නිකම් හිතලුවකට නොවේ. කරුණු කාරණා ඇතිව මය. එහෙත් අවාසනාවකට කිසිවකුත් ඒ ගැන වදනක් හෝ නොදොඩවති. ඒ නිසා ම ඉකුත් මැයි මස අවසන් සතියේ දී කොළඹ දී පැවැති තුන්වන සාක් සිනමා
උළෙ‍ලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කවුදැයි යන්න මෙය කියවන සැමගේ දැනගැනීම පිණිස මෙලෙස සටහන් කරමි.
සාක් කලාපයේ හොඳම නළුවා - තිසල් මොරගොඩ - ‘මවුස්’ චිත්‍රපටය (ශ්‍රී ලංකාව)
සාක් කලාපයේ හොඳම නිළිය - අමීනා ෂයීක් - ‘Seedlings-Lamha’ චිත්‍රපටය(පකිස්තානය)
හොඳ ම අධ්‍යක්ෂක - තිග්මන්ෂු ධූලියා - ඉන්දියාව, ‘Paan Singh Tomar’ චිත්‍රපටය
හොඳ ම වාර්තා චිත්‍රපටය - ‘Cost of Climate Change’, ශේරින්ග් පෙන්ජෝර් (භූතානය)
හොඳ ම චිත්‍රපටය - තෙවන ස්ථානය - ‘මවුස්’, (වසන්ත මොරගොඩ, ශ්‍රී ලංකාව)
හොඳ ම චිත්‍රපටය - දෙවන ස්ථානය -‘Seedlings-Lamha’, (මන්ෂූර් මුජහිඩ්, පකිස්ථානය)
හොඳ ම චිත්‍රපටය - ‘Paan Singh Tomar’, (තිග්මන්ෂු ධූලියා,  ඉන්දියාව)
දෙවන සාක් චිත්‍රපට උළෙ‍ලේ දී ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සම්මානය මාලනී ෆොන්සේකා දිනා ගනිද්දී මෙවර (තෙවන සාක් චිත්‍රපට උළෙල) හොඳ ම නළුවා ‘මවුස්’ චිත්‍රපටයේ ‘සූකිරි’ගේ චරිතය නිරූපණය කළ තිසල් මොරගොඩ ය. ඔහු තවම අවුරුදු දොළහක පුංචි කොලු ගැටයෙකි. පාසල් දරුවෙකි. එහෙත් දකුණු ආසියාවේ දක්ෂතම නළුවා ඔහු ය.
මෙය අපට අති විශේෂ විය යුතුමයි. මන්ද ඒ තිසල් ජාත්‍යන්තරය ජයගත් නළුවෙක් වීම නිසා ය. ඔහු ජාත්‍යන්තරය ජයගත්තේ ළමා නළුවෙක් ලෙස නොවේ. මෙරට ජාත්‍යන්තර තලයට ගිය ළමා නළු නිළියෝ සිටිති. ඒ ළමා චිත්‍රපට වෙනුවෙනි. ඒ සම්බන්ධ ව වෙනම කියැවීමක් තිබේ. එහෙත් තිසල් මේ සම්මානය ලබන්නේ ළමා චිත්‍රපට උළෙලක දී නොවීම අති විශේෂ ය. ඔහු තරග කළේ ඔහුගේ වයසේ දරුවන් සමග නොවේ. ඔහුගේ රංගනය සසඳා බැලුවේ කලාපයේ අනෙක් ළමා චිත්‍රපට සමග ද නොවේ.
සිනමාව තුළ සිය මංගල රංගනය ඉදිරිපත් කළ තිසල් දැවැන්තයකු වනුයේ කෙසේ ද? එහෙත් ඔහු දැවැන්තයෙකු විය. විශේෂත්වය එය ම වෙයි. පුංචි තිසල් විසල් වන්නේ එබැවිනි. රංගනයේ කෙළපැමිණියවුන් අතරින් තිසල් විසල් රුකක් සේ සූකිරි හරහා නැඟී සිටියේ ය. අනෙක් අන්තයෙන් සාක් කලාපයේ හොඳම නිළිය වූ පාකිස්ථානයේ අමීනා ජාත්‍යන්තරය ජයගත් නිළියකි. 2012 වර්ෂයේ නිව්යෝර්ක් චිත්‍රපට උළෙ‍ලේ දී ඇය හොඳ ම නිළියක වූවා ය. 2009 වර්ෂයේ දී දහවන වරට පැවැත් වූ ලක්ස් විලාසිතා සම්මාන උළෙ‍ලේ හොඳම රූපවාහිනී නිළිය ලෙසින් නිර්දේශ වූවා ය. මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව හතරකි. ටෙලි චිත්‍රපට ප්‍රමාණය අටකි. රූපවාහිනී නාට්‍ය ප්‍රමාණය විසි හතරකි. එහෙත් මේ තිසල්ගේ පළමු රංගනය යි. තිසල් විසල් වන්නේ ම මේ නිසා ය.
මෙරට කලාවට සම්බන්ධ සම්මාන උළෙල අවසානයේ දී ඒවායේ විනිශ්චයන් සම්බන්ධයෙන් විවිධ අය විවිධ කතා කියති. සම්මාන ලැබූවන්ට විනිශ්චය සාධාරණ වෙද්දී සම්මාන නොලැබූවන්ට විනිශ්චය අසාධාරණ ය. විනිසුරු මඩුල්ල පාර්ශ්වික ය. එහෙත් සාක් චිත්‍රපට උළෙ‍ලේ විනිසුරුවන් හැටියට කටයුතු කළේ සිංගප්පූරුවේ පිලිප් චී, රුසියාවේ ඇලෙක්සැන්ඩර් වොල්කෝ සහ ඉරානයේ අබ්බාස් රෆී ය. එනම් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයකි (සමහරවිට පශ්චාද් සම්මාන කතිකාවක් හෝ ගොඩනොනැඟීමට එය ම හේතුවක් වන්නට ඇත).
අනෙක් පැත්තෙන් මෙරට නළු නිළියන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙක්ට සම්මානයක් ලැබිම තබා සම්මානයකට නිර්දේශවීමක් හෝ ඇවැසි නැත. රූපවාහිනියේ හෝ චිත්‍රපටයේ තම මුහුණත් තහඩුව දර්ශනය වූ පමණින් නළු නිළියෝ වෙති. ඉන් අනතුරුව සිය මාධ්‍ය චාරිකාව අරඹති. පුවත් මවති. මුල් පිටු, ඇතුල් පිටු, පසු පිටු සරසති. එහෙත් දකුණු ආසියාවේ දක්ෂත ම නළුවා වූ තිසල් තවමත් නිසංස‍ලේ හිඳී.
සිනමාව කලාව පවු‍ලේ බූදලයක් ලෙසින් හෝ පරම්පරාගත උරුමයක් ලෙසින් සලකාගෙන එහි ම අරක්ගෙන සිටිනා අඹු-සැමි, පිය-පුතු නෑසිය දූදරු බහිරව කුම්භාණ්ඩයන් රජයන සමයක තිසල් මෙරට තුළ ඇගයීමකට ලක් නොවීම එක් අතකින් අරුමයක් ද නොවේ. එහෙත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන බව තිසල් ද ඔප්පු කළේ මෙරට සිනමාවට අරක් ගත් බහිරව කුම්භාණ්ඩයන්ට පමණක් නොව, ඔවුන් වෙනුවෙන් බැලමෙහෙවරකමේ යෙදෙනා සියලු දෙනාට ම සිතන්නට බොහෝ දේ ද ඉතිරි කරමිනි.
තිසල් පසුපස ලියැවී ඇති තවත් කතාවක් තිබේ. ඔහු ද පෙර සඳහන් කළ සිනමාවේ පිය-පුතු කුලකයට ම වැටෙනා බැවිනි. වාසනාවකට වසන්ත මොරගොඩ සහ තිසල් මොරගොඩ පෙර කී බහිරව කුම්භාණ්ඩයන්ගේ ඝනයට තවම වැටී නැත. (අනාගතයේ දී ද එය එසේ ම වනු ඇතැයි අපේක්ෂා කරමු). වසන්ත මොරගොඩ ‘මවුස්’ නිමවන්නේ ද ඔහුගේ කුළුඳුල් නිර්මාණය ලෙසිනි. එයට ද සාක් කලාපයේ හොඳ ම චිත්‍රපට අතරින් තුන්වන තැන හිමි වේ.
එහෙත් ‘මවුස්’ ගැන ද කතාවක් නැත. පිටපත් තිස් පහත් පනස්පහත් අතරේ සිනමාව දෝලනය වෙද්දී වරප්‍රසාද ලත් පන්තිය සිනමා කරළියේ පිනුම් ගසති. මාධ්‍ය සංදර්ශන පවත්වති. ඔවුන්ට සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ දී ‍පෝලිම් වැදගත් නොවේ. ඒවා අදාළ වන්නේ බෙලහීන නිර්මාණකරුවන්ට පමණි. තුන්වේලට ම කෑමට පෙරත් පසුත් මාධ්‍ය මගින් ප්‍රචාරණයේ යෙදෙති.
මෙරට වත්මන් සිනමා සංස්කෘතිය තුළ ‘මවුස්’ සමග වසන්ත මොරගොඩ යන්නේ ද නිහඬ චාරිකාවක ය. ඔහුට සිය නිර්මාණය ප්‍රදර්ශනය කිරීම සඳහා පාසල් දරුවන් ගෙන්වා ගැනීමට විදුහල්පති නිර්දේශ නැත. බලධාරීන්ගේ නිර්දේශ නැත. ළමයින් බැලිය යුතුම චිත්‍රපටයක් යැයි ප්‍රශස්ති ගැයීමට කිසිවෙක් නැත. එහෙත් අද දවසේ ප්‍රදර්ශනය වන බොහෝ චිත්‍රපට අතරින් පාසල් දරුවන් නැරඹිය යුතු ම නිර්මාණයක් වන්නේ ද ‘මවුස්’ ය. එහෙත් බොහෝ දෙමාපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඒ වග මතෛක් වැටහී නොමැතිවීම ගැන දුක් විය යුත්තේ ‘මවුස්’ නිර්මාණය කළ, සිය නිර්මාණය සඳහා ජාත්‍යන්තර සම්මාන හිමි කර ගත් වසන්ත මොරගොඩ හෝ ‘මවුස්’හි රංගනය වෙනුවෙන් දකුණු ආසියාවේ හොඳ ම නළුවා වූ තිසල් මොරගොඩ නොවේ. මෙකී සිනමා පටය තිබිය දී එය බැලීමට අතපසු කළ ඒ පිරිස ම ය.
තිසල්ගේ විසල් රංගනය එළියට ගත්තේ ඔහුගේ පියා වූ වසන්ත මොරගොඩ බව සැබෑ ය. එහෙත් තිසල් වෙනුවට එතැන වෙනත් දරුවකු සිටියේ නම් වසන්තට මේ හපන්කම කළ හැකි දැයි කීමට නොදනිමු. නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේත්, සිය නිර්මාණයට යමෙක් දායක කරගන්නේත් හොඳින් සිතා බලා මිස හිතට එන එන පළියට නොවේ. එසේ බැලුවහොත් වසන්ත සැබෑ ම නිර්මාණයක් කර ඇත. ඔහු ඊට හරියට ම හරියන පිරිසක් ද දායක කරගෙන ඇත. ඒ නිසා ඔහුට සිය නිර්මාණය ජාත්‍යන්තරයට ගෙන යා හැකි විය. ජාත්‍යන්තර සිනමාකරුවෙක් බවට පත්වීමට හැකි විය. ජාත්‍යන්තර තලයේ නළුවෙක් බිහිකළ හැකි විය. එනම් වසන්ත සිය නිර්මාණයට සාධරණය ඉටුකර ඇත. තිසල් වසන්තගේ තීරණයට සේ ම සිය චරිතයට ද සාධාරණය ඉටු කර ඇත. ඒ බව ජාත්‍යන්තර සිනමා උළෙලක දී ඔප්පු කර ඇත. එහෙත් දැන් එය අයිති වසන්තට හෝ තිසල්ට නොවේ. මේ රටේ සිටිනා සිනමා රසිකයන්ට විචාරකයන්ට හෝ දකුණු ආසියාවට ද නොවේ. මන්ද දකුණු ආසියානු සිනමාවේ වර්තමානය මුළු ලොවට ම පිළිබිඹු කරන්නේ මෙකී සම්මානයන් හරහා වන බැවිනි.
නිර්මාණකරුවෙක් යම් නිර්මාණයක් කළ යුත්තේ පෞද්ගලික ව සම්මාන, සහතික හෝ ඇගැයීම් අපේක්ෂාවෙන් නොවන බව අපගේ අදහසයි. එය හුදෙක් සමාජයේ ‍පොදු යහපත පිණස විය යුත්තකි. එහෙත් එහිදී ඇගයුමක් ලැබේ නම් එය සුළුවෙන් තැකිය යුත්තක් ද නොවේ. තවත් කරුණක් ඉතිරි ව ඇත. මෙකරුණේ දී ක්‍රීඩාවත් සිනමාවත් පටලවාගත යුතු නැත. සාක් ක්‍රීඩා උළෙ‍ලේ දී ද පදක්කම් ලබන්නේ කලාපයේ ඒ ඒ ක්‍රීඩාවට දක්ෂයන් ය. එසේ නම් සාක් චිත්‍රපට උළෙ‍ලේ දී ද පදක්කම් ලබන්නේ මේ කලාපයේ ඒ ඒ අංශයන්හි දක්ෂයන් ය. එය එසේ නොවේ නම් වසන්තලා තිසල්ලා තවදුරටත් නිර්මාණකරණයේ යෙදීමෙන් පලක් වේ දැයි කනගාටුවෙන් වුව ද පැවසිය යුතු මය.
මේ රටේ වෙනදේවල් එක්ක මෙහෙම වුණු එක ඒ තරම් පුදුමයකුත් ‍නෙවෙයි
Wasanthaවසන්ත මොරගොඩ - ‘මවුස්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ
මේ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහස වෙන්නේ නම් මේ රටේ තියෙන අනිත් සම්මාන උළෙල එක්ක, ඒවායේ ජයග්‍රාහකයන්ට ලැබුණු පිළිගැනීම්වලට සාපේක්ෂ ව මේ කාරණය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න හෝ සතුටු වෙන්න බෑ. හැබැයි මේ රටේ වෙන දේවල් එක්ක මේක මෙහෙම වුණු එක ගැන කිසි ම පුදුමයකුත් නෑ. ඒත් මීට වඩා යමක් වුණා නම් හොඳයි කියලයි හිතෙන්නේ. මේක මටවත් තිසල්ටවත් විතරක් නෙවේ, රටක් විදියටත් දිරිගැන්වීමක් තිබිය යුතුයි. අපි ඉතිං දූවිල්ලෙන් ඉපදිලා ගොඩනැඟුණු අයනේ. මේ දේවල් මෙහෙම වුණා කියලා, අපි කවදාවත් සැලිලත් නෑ. සැලෙන්නෙත් නෑ. නිර්මාණයක් කරන්න බාධකයක් කරගන්නෙත් නෑ.
මේ සම්මානේ පිටරටක දී ලැබුණානම් සමහර විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා                            
- ප්‍රවීණ රංගනවේදිනී, කෞෂල්‍යා ප්‍රනාන්දු
MOUSE-2මම හිතන්නේ ඇත්තට ම ඒ ළමයට දීපු වැදගත්කම ප්‍රමාණවත් නෑ. මම එයා වැඩකරන හැටි දැක්කනේ. හරිම විනයානුකූලයි. ඇත්තටම කිවුවොත් ප්‍රවීණ නළුවෙක් වගේ තමන් ව මනා ලෙස කළමණාකරණය කරගත්තා. කිසිම වෙලාවක එයා චරිතයෙන් පිට ගියේ නෑ. එක ම දර්ශනය නැවත නැවත ගනිද්දී වුණත් කිසිම අප්‍රසාදයකින් තොර ව චරිතයෙන් පිට නොයා හරි ම පිළිවෙළට වැඩ කළා. අනිත් කාරණාව මේ චිත්‍රපටයේ තව ළමයි හිටියා. වසන්ත මට කිව්වාම තිසල් මේ චරිතයට ගන්නවා කියාල, මුහුරත් උළෙ‍ලේදී මේ දරුවාව දැක්කම මට හිතුනේ නෑ එයාට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයා ඒක හරියට කළා. වසන්ත වුණත් තිසල් තමන්ගේ පුතා කියන එක සැලකුවේ නෑ. අනිත් ළමයි හා සමානව ම තමයි තිසල්ට සැලකුවෙත්. තිසලුත් එහෙමයි. තමන්ගේ තාත්තා කියන සාධකය කිසිම තැනක පාවිච්චි කළෙ නෑ. හැබැයි මේ සම්මානේ පිටරටක දී ලැබුණා නම් සමහර විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපි දරුවන්ව රවටන්න හොඳ නෑ. මනෝ විද්‍යාත්මකව අනවශ්‍ය විදියට වීරයන් කරන්නත් හොඳ නෑ. රියැලිටි වැඩසටහන් හා මාධ්‍ය එකතුවෙලා මේ විදියේ දරා ගන්න බැරි වීරත්වයක් දරුවන්ට ආරෝපණය කරනවා අපි දකිනවා. අවසානෙට ඒ ඒ මාධ්‍යම ඒ දරුවන්ව විකුණනවා තමන්ගේ පැවැත්මට. තිසල්ට එහෙම ඛිෙදවාචකයක් නොවුණු එකත් එක අතකින් වාසනාවක්. ඒ වගේ ම තමා ඉතිං අපේ රටේ වෙන අසාධාරණත් එක්ක බැලුවාම මේක ලොකුවට හිතන්න අවශ්‍යත් නෑ.  
නළු කලාව ගැන විද්‍යාත්මකව කතා කරන්න පුළුවන් දක්ෂයන් පිරිසක් ඉන්නවද කියන එක සැකයි
- ප්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණ
Jalal-Rohanaඇත්තට ම බැලුවොත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නෑ. නළු කලාව ගැන විද්‍යාත්මක ව කතා කරන්න පුළුවන් දක්ෂයන් පිරිසක් ඉන්නවද කියන එක සැකයි. තවම අපේ රටේ ඉන්නේ ප්‍රධාන නළුවා කියලා හිතාන ඉන්න පිරිසක්නේ. හැබැයි එහෙම එකක් නෑ. ප්‍රධාන නළුවෙක් නෑ. තියෙන්නේ ප්‍රධාන චරිතයක් විතරයි. නළුවා ප්‍රධාන අප්‍රධාන වෙන්නේ නෑ. හැබැයි මුඛ්‍ය චරිතයක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රධාන චරිතය. අපේ රටට සාපේක්ෂව හොඳ ම නළුවා කියන්නේ MAIN ROLE එකට. දැන් SPARTACUS චිත්‍රපටය ගත්තොත් ඒකේ ප්‍රධාන භූමිකාව කර්ඩි ඩග්ලස්ගේ. හැබැයි වැඩිපුර ඇගයුනේ සර් ලෝරන්ස් ඔලිවියර්ගේ රංගනය. 

ඒ ගැන කතා නොකර ඉන්න කැමතියි
සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී
Inokaසාක් චිත්‍රපට උළෙල කියන්නේ මොකද්ද, ඒකෙදී සලකා බැලූ නිර්මාණ මොනවගේ ද කියන කාරණත් එක්ක ම තමයි ඔය ගැන කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඇත්තටම ඔය ගැන උත්තරයක් නොදී, කතා නොකර ඉන්නයි මම කැමතියි.
මධුරංග සී. නුවන්ප්‍රිය

No comments:

Post a Comment