Tuesday 18 June 2013

ලිබියාව යළි විප්ලවයක් කරා යයිද ?

හතළිස් දෙවසරක ගඩාෆිගේ පාලනයෙන් ලිබියාව අත්මිදුනේ මීට වසර දෙකකට ඉහතදීයි. 2011 දී සිදු වූ ඒ ලිබියානු විප්ලවය නම් කාටත් අමතක නොවන්නකි. එදා එවන් අමතක නොවන මතකයක් ලොවට එක් කළ ලිබියාව දැන් යළිත් පත්ව ඇත්තේ තවත් විප්ලවයක් සිදු වීමේ අවදානමකැයි කිවහොත් එහි වරදක් නොවේ. බොහෝ දෙනා සිතුවේ 3-3ගඩාෆිගේ මරණින් පසුව ලිබියාව නව යුගයක් කරා යනු ඇතැයි කියායි. එහෙත් සිතූ තරම් ප්‍රගතියක් තවම ලිබියාව තුළ නොවේ. දියුණුව කරා යනවා වෙනුවට දැන් ඔවුන් සිටින්නේ විප්ලවයක උණුසුම අභියසයි. මෙදා යළිත් ලිබියාව විප්ලවයක් කරා යයිද ? මේ ලිපියෙන් ඒ ගැන විමසා බලමු.
ආයුධ සන්නද්ධ පිරිස් ට්‍රි‍පොලි අගනුවර සැරිසරන්නේ එදා ගඩාෆි පලවා හැරීමේ විප්ලවය ගැන මතකය අවදි කරමිනි. එදා ගඩාෆි යටතේ සිටි නිලධාරීන් තවමත් ලිබියානු රජයේ ආයතනවල සේවය කිරීම වත්මන් ලිබියානු අර්බුදයට හේතුවයි. ලිබියාවේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ආයුධ සන්නද්ධ කැරලිකරුවෝ ට්‍රක් රථවල නැගී ට්‍රි‍පොලි අගනුවර සැරිසරන්නේ තම බලය පතුරුවාලමිනි. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ගඩාෆි යුගයේ සිටි නිලධාරීන් රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීමයි. ලිබියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කරන නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් ගඩාෆි යටතේ සේවයේ නිරත වූවෝ වෙති. මොවුන් තවදුරටත් සේවයේ පිහිටුවා තිබිම කැරලිකරුවන්ගේ කෝපයට හේතුවයි. මෙමගින් ලිබියානු විප්ලවයේදී දිවි පිදූවන්ට නිසි ගෞරව දැක්වීමක් සිදු නොකෙරෙන බවට ඔවුන් චෝදනා නගයි.
3-1
ලිබියාවේ මේ නව පිබිදීම දේශපාලන පෙළඹවීම මත සිදු වන බවට රාවයක්ද වේ. තමන් අකමැති රාජ්‍ය නිලධාරීන් සේවයෙන් නෙරපීමට ඇතමුන් මෙය අවස්ථාවක් කරගෙන ඇති සෙයක් පෙනේ. ලිබියානු පාර්ලිමේන්තුවට තරග වදින කණ්ඩායම් මේ උද්ඝෝෂණවලට රුකුල් දෙන්නන් අතර සිටීම ඊට 3-3සාක්ෂි සපයයි. මේ විරෝධතාවල පිහිටෙන් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ නීති සම්මත කර ගත හැකි වෙතැයි ඇතැම් දේශපාලනඥයින්ගේ විශ්වාසයයි. ඒ නිසාම එවුන් සිය බල ප්‍රදේශ නියෝජනය කරන කැරලි කණ්ඩායම් උසි ගන්වයි.
“දේශපාලනික හුදෙකලා පනත” ලෙස හඳුන්වන ව්‍යවස්ථා සම්පාදනයක් අනුමත කරවා ගැනීම නව විරෝධතාවල අරමුණයි. යෝජනා වී ඇති ව්‍යවස්ථා සම්පාදනය මුල් පනත් කෙටුම්පත අභිබවා යන්නක් බව විවේචකයින්ගේ මතයයි. කෙසේ වුවද මේ ව්‍යවස්ථා සම්පාදනයේ 3-4අරමුණ වී ඇත්තේ ගඩාෆිගේ රජය යටතේ සේවය කළ නිලධාරීන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීම වැළැක්වීමයි. ලිබියානු ජනතාවට එරෙහිව අපරාධ සිදු කළ අයට නිසි දඬුවම් පැමිණවීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීමයි. ඒ අනුව මේ නීතිය ලිබියානු විප්ලවය කඩාකප්පල් කළ ඕනෑම අයෙකු වෙත තීරණාත්මක ලෙස බලපානු ඇත. එබැවින් නව ව්‍යවස්ථා සම්පාදනය අනුමත වන තෙක් ලිබියානු දේශපාලන විචාරකයෝ බලා හිඳිති.
මෙහිදී
කැරලිකරුවන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ රජයට විරුද්ධව නැගී සිටීම නොව රජය වෙත යම් පෙළඹවීමක් ඇති කිරීම බව ඇතමුන්ගේ අදහසයි. මතෛක් කල් ඔවුහු කිව යුතු සෑම සියලු දෙනාටම සිය දුක කීහ. එහෙත් ඔවුන්ට ඇහුම්කන් දෙන්නට කිසිවෙකු නොවීය. දැන් ඔවුන් වෙනසක් ඉල්ලා පාරට බැස සිටියි. ඔවුන් ඉල්ලන ඒ වෙනසද සිදු නොවුණහොත් ඊළඟ පියවර කුමක් වේදැයි කිවහැකි නොවේ. එහෙත් මෙහිදී කාටත් මතක් කර දිය යුතු කරුණක් වේ. එනම් දේශපාලන දර්ශනයේ මත ගැටුම් විසඳා ගත යුතු වන්නේ සාකච්ඡා මාර්ගයෙන් මිස අවි බලයෙන් නොවන බවයි.

No comments:

Post a Comment