Thursday, 9 August 2012

බෝල්ට් මීටර 200 ජයගනී

ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මෙවරත් මීටර 200 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 1.25 ට ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී බෝල්ට් මීටර 200 ඉසව්ව ජයගත්තේ තත්පර 19.32 කාලයක් වාර්තා කරමිනි. මේ සමගින් අඛණ්ඩව ඔලිම්පික් උළෙල දෙකකදී මීටර 100 සහ මීටර 200 යන ඉසම් දෙකට ම හිමි රන්පදක්කම් දිනා ගත් ලොව එක ම ක්‍රීඩකයා වෙමින් උසේන් බෝල්ට් නව ලෝක වාර්තාවක් ද තැබීය. මෙවර ඔලිම්පික් උළෙලේ මීටර 200 ඉසව්වේ සුවිශේෂත්වය වූයේ එම ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් ත්‍රිත්වය ම ජැමෙයිකානුවන් සතුවීම ය. ඒ අනුව, රිදී පදක්කම යොහාන් බ්ලේක් දිනා ගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 19.44 කි. තත්පර 19.84 කින් ඉසව්ව නිම කළ වොරන් වියර් ලෝකඩ පදක්කම දිනාගත්තේය. මේ අතර උසේන් බෝල්ට් සහ යොහාන් බ්ලේක් මෙවර තරග සමයේ සිය හොද ම පෞද්ගලික දක්ෂතාව ද මෙම ඉසව්වේ දී සටහන් කළහ. තෙවැනි ස්ථානය දිනූ වොරන් වියර් ගේ හොද ම පෞද්ගලික දක්ෂතාව ද මෙය වේ. 1996 පැවැති ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු ක්‍රීඩක මයිකල් ජොන්සන් ද මීටර 200 ඉසව්ව නිම කර තිබුණේ මෙවර උසේන් බෝල්ට් වාර්තා කළ කාලයටම ය. මීටර 200 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව වන්නේ තත්පර 19.30 කි.

No comments:

Post a Comment