Thursday, 27 September 2012

සුපිරි 8 පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 වටයේ පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වූයේ නවසීලන්තය පරාජ‍යට කරමින්. දෙපිලේ ලකුණු සමවීම නිසා තරඟයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ අතිරේක පන්දුවාරයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්තයයි. පන්දුවාරයකට ලකුණු 8.70 ක දළ වේග‍යක් රඳවා ගත් නවසීලන්ත‍ය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 174ක් රැස් කිරිමට සමත් විය. නවසීලන්ත පළමු කඩුල්ලට රොබ් නිකොල් හා මාර්ටින් ගප්ටිල් ලකුණු 57 ක සබඳතාවක් ගොඩ නැඟීමට සමතු වූ අතර නිකොල් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 58 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් කුලසේකර සිය පන්දුවාර හතරේදී ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තේය. පන්දුවාර 20/20 ජා‍ත්‍යන්තර තරඟවරම් දිනූ මෙරට 47 වැනි ක්‍රීඩක‍යා හා ලාබිලම ක්‍රීඩකයා වෙමින් තරඟ වැදුණු අකිල ධනංජ‍ය තමා යැවූ 12 වැනි පන්දු වාරයේ දී අනපේක්ෂිත අනතුරක‍ට ලක් විය. ඔහු නියමිත පන්දු වාර හතර් දී ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 82 ක් රැස් කළහ. ලෝක කුසලාන තරඟ‍යක දී ශ්‍රී ලංකාව අඩුම පන්දු සංඛ්‍යාවකින් ලකුණු 50 සීමාව පසු කළේ ද මෙම තරඟයේ දී ය. ඔවුහු පන්දු 25 කදී ලකුණු 50 රැස් කළ අතර ශ්‍රී ලංකාව අද පවර් ප්ලේ පන්දුවාර 6 තුළ වැඩිම ලකුණු රැස් කල කණ්ඩායම බවට ද පත්විය. මහේල පන්දු 26 කින් ලකුණු 44ක් රැස් කළ අතර ඔහු පන්දුවාර 20/20 තරඟවලදී ලකුණු 1000 පසුකළ මෙරට පළමු ක්‍රීඩකයා වූ අතර පන්දු 53 කදී ලකුණු 76ක් රැස් කරමින් ටී.එම්.ඩිල්ෂාන් ද අද 20/20 තරඟවලදී ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත් විය. දෙපිලේ ලකුණු සම විම හේතුවෙන් තරඟයේ තීරණය ලබා ගැනීම සඳහා දෙපිලටම අතිරේක පන්දුවාරය බැගින් පිරිනැමුණි. එහිදී පළමුවෙනු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක‍ට ලකුණු 13 ක් රැස් කළ අතර නවසීලන්තයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

No comments:

Post a Comment