Sunday, 16 September 2012

එස්.බී. එඬේර රස්සාවටවත් සුදුසු නැහැ - අනුර

උසස් අධ්‍යාපනය බාරදී ඇත්තේ එඬේර රස්සාවවත් හරියට කරන්න බැරි ඇමතිවරයෙකුට බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ‘‘අධ්‍යාපනයේ අර්බුදය සහ දරුවන්ගේ අනාගතය“ යන මාතෘකාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයිනපුරා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවේ මාතරදී ඊයේ (15) පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසු අදහස් පහත පළවේ. ‘‘අපි දන්නවා මේ වනවිට සාකච්ඡාවට බඳුන්වන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකපැත්කින් ගොවි ජනතාව තමන් නෙලාගන්නා අස්වැන්නට සාධාරණ මිලක් නොමැතිවීම හේතුකොටගෙන ඒ සඳහා සාධාරණ මිලක් ලබාගැනීම සඳහා අරගලයක නිරතවෙලා ඉන්නවා. ඒවගේම ගොවි ජනතාව තමන් බොහොම අමාරුවෙන් වගාකරන ලද වගාවන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා විනාශයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා ඒවාට සාධාරණ වන්දි මුදලක් ලබාදිය යුතුයි කියන අරගලයක නිරතවෙලා ඉන්නවා. ඒ වගේම අපේ රටේ නීති ක්ෂේත්‍රයට අදාළ නීතිවේදීන්, නීතිඥ මහත්වරුන් සහ නීති ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් රටතුළ සිද්ධවෙමින් තිබෙන නීතියේ කඩාවැටිමට එරෙහිව නැගීසිටිමින් ඉන්නවා. අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ක්‍රමාණුකූලව රාජපක්ෂ පාලනය අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදන කප්පාදු කරන ගමන මේ රටේ අධ්‍යාපනයට මහා ව්‍යයසනයක් ඇති කරනවා යැයි කියන පදනම මත පිහිටා ඒ සඳහා සටන් මාර්ගවලට අවතීර්ණ වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම අපි දැක්කා උසස් පෙළ ලියන ලද සිසුන් සහ සිසුන්ගේ දෙමව්පියන් තමන්ගේ දුවාදරුවන් ලියන ලද උත්තරපත්‍රයට සරිලන සාධාරණයක් අපේක්ෂාවෙන් අරගලයක නිරත වෙමින් ඉන්නවා. එසේම පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට ලියන ලද සිසුන්ගේ දෙමව්පියන් විශාල කනස්සල්ලකට පත්වෙලා සිටිනවා, ඒ සඳහා මතුවෙලා තියෙන දෙගිඩියාව, අවිනිශ්චිතතාවය හේතුකොටගෙන. මේ සමාජයේ විවිධ තරාතිරම්වලට අයිති, විවිධ ක්ෂේත්‍රවලට අයිති විවිධ ජන කණ්ඩායම් අද ආණ්ඩුවත් සමග විවිධ ආකාරයේ අරග, සටන් ක්‍රියාමාර්ගලවට අවතීර්ණවෙලා ඉන්නවා. එයිනුත් ප්‍රධාන වෙලා තියෙන්නේ කුමක්ද? වඩාත් සංවේදී වෙච්ච, වඩාත් ජනතාවත් එක්ක බද්ධවී තිබෙන, වඩාත් වැඩියෙන් අවධානය යොමුවී තිබෙන ප්‍රශ්නය බවට අද පත්වී තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන අර්බුදය. එම ප්‍රශ්නය ඒ තරම් සංවේදී ප්‍රශ්නයක් බවට අපේ රටේ ජනතාවගේ පත්වෙන්නේ ඇයි? ප්‍රධාන කරුණ බවට පත්වෙන්නේ අපි දන්නවා අපේ රටේ, සල්ලි තියෙනවද නැද්ද ඒකියන්නේ දුප්පත්ද - පොහොසත්ද, පුළුවන්ද - බැරිද, උගත්ද - නූගත්ද, නගරෙද - ගමේද මේ ආදී කිසිදු භේදයකින් තොරව අපේ රටේ හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට උගන්වන්න වෙහෙස මහන්සි වෙනවා. ලෝකේ මේ තරම් තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වන දෙමව්පියෝ ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒ ඇයි? දෙමව්පියෝ දන්නවා, තමන්ට වාඩා හොඳ අනාගතයක් තමන්ගේ දරුවන්ට ඕන නම්, තමන් විඳින දුක තමන්ගේ දරුවට අත්පත් නොවෙන්න නම් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න ඕන කියලා විශාල උවමනාවක අපේ රටේ දෙමව්පියෝ පෙළඹෙනවා. ඒ සඳහා අනේකවිධ උපක්‍රම, ක්‍රියාමාර්ග, වැඩපිළිවෙළවල්වලට දෙමව්පියෝ යොමුවෙලා තියෙනවා. අපි දන්නවා දරුවා කුසට එනකොට කල්පනා කරනවා ඒ දරුවගෙ පාසල කොහෙද හොයා ගන්නේ කියලා. එතකොට තමයි කල්පනා කරන්නේ ග්‍රමාසේවක මහත්තයට කීයක්හරි දීලා ලයිට් බිල, වතුරු බිල මාරුකරගන්න, එහෙම නැතිනම් ඡන්ද නාම ලේඛනය වෙනස් කරගන්න උත්සාහ කරනවා. විවිධ දේවල් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ වෙන මොකක්වත් නිසා නොවෙයි තමන්ගේ දරුවන්ට උගන්වන්න තියෙන මහා බලාපොරොත්තු සහ අපේක්ෂාවන්. මේ හැමදෙයක්ම කරලා ඊළඟට දරුවට හරිහමන් පාසලක් නෑ. ඊළඟ අවුරුද්දේ තමන්ගේ දරුවා පාසලට බාරදෙන්න ඉන්නවා නම් ජුනි මාසේ ඉඳන් තමන්ගේ දරුවාගේ පාසල ගැන හිතන්නේ. ඒ තරම් උනන්දුවෙන් කටයුතු කරනවා. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සමත්වීම අපේ රටේ 50% ප්‍රතිශතයේ තියෙන්නේ. ඈත ගම්මානවල එය 25% පමණ ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ නිසා මෙහි අර්බුදයක් තියෙනවා. විභාගය වරද්දනවා. ලියන විභාගයේ ප්‍රතිඵල වරද්දනවා. ප්‍රශ්න පත්‍ර පිටවෙනවා. අද අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන කප්පාදු කරනවා. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ අර්බුද ගණනාවක් මතුකරලා තියෙනවා. දෙමව්පියන්ගේ බලාපොරොත්තුවලට පණදෙන්න බැරිවෙලා තියෙනවා. සාතිශය ළමයි ප්‍රමාණයක් දුකට පත්කරලා තියෙනවා. මේ අර්බුදය එස්.බී.ලාගේ අර්බුදයක් නොවුනත් එය තීව්‍ර කරන්න එස්.බී. දිසානායකලා සමත්වෙලා තියෙනවා. එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නෙවෙයි, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මගපෙන්වන්න නෙවෙයි, මේ රටේ ගවපට්ටියක්වත් බලාගන්න සුදුසු ඇමතිවරයෙක් නෙවෙයි. මොකද ගව පට්ටියක් බලන්න ගියත් මේ හාදයා දකින දකින ගොනාට අනින්න යනවා. ඒ නිසා එඬේර රස්සාවක්වත් හරියට කරන්න බැරි කෙනෙකුට තමයි අද උසස් අධ්‍යාපනය බාරදීලා තියෙන්නේ. මං දැක්කා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කාලකන්නි කියලා කියලා තියෙනවා. මොන කාලකන්නියෙක්ද මූ. අපි දන්නවා කාටත් ඉගෙනීමක් තියෙනවා. ගරුත්වයක් තියෙනවා. අපේ රටේ අධ්‍යාපනයට කරන මෙහෙවරක් තියෙනවා. නමුත් මේ අය උසස් අධ්‍යාපන ඇමතිට පෙනෙන්නේ කාලකන්නි හැටියට.ඉතින් කවර තත්වයක් මේ අධ්‍යාපනයට ඇතිවේවිද? ඒ නිසා අද අපේ රටේ අධ්‍යාපනය ගැඹුරුතම අර්බුදයකට මුහුණදීලා තිබෙනවා. මේ අර්බුදයට හේතු වෙච්ච කරුණු තුනක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය කළමනාකාරිත්වයේ ගැටලුවක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති වැරදියි. තුන්වන කාරණය තමයි සමාජ ක්‍රමයක් ලෙස මේ අධ්‍යාපනය හසුරුවන තැන වැරදියි. අපි පාර්ලිමේන්තුවේදී අධ්‍යාපනයේ පරිපාලනයේ ඇති කඩාවැටීම ගැන දිගින් දිගටම ප්‍රශ්නකළා. ඒ වෙලාවේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා නැගිටලා කිව්වා මේකට හේතුව දේශපාලන පත්වීම් කියලා. මම ඇහුවා මමද දුන්නේ කියලා. ඒක ඇත්ත, අධ්‍යාපනයේ කළමනාකරණය කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දේශපාලන පත්වීම්. මේක දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. රටේ අනාගය පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයම දේශපාලනීකරණය කරලයි තියෙන්නේ. සමහර තැන්වල වාර විභාගවල ප්‍රශ්න පත්‍රවල තිබුනේ ‘‘මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම‘‘ ගැන රචනාවක් ලියන්න. ගුත්තිල කාව්‍යය, සද්ධර්ම රත්නාවලිය ගැන ලියන්න කියන එක පිළිගන්න පුළුවන්. නමුත් ‘‘මහින්ද චින්තනය‘‘ කියන්නේ මොකක්ද, ඒක දේශපාලන ලියවිල්ලක්. ඊළඟට අධ්‍යාපන ප්‍රතිපත්තියේ වැරද්ද, මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදල තියෙන්නේ දැන් පවතින කොල්ලකාරී, කිසිදු නිෂ්පාදනයක් නොකරන, විවෘත ආර්ථිකයට ගැලපෙන විදිහට. ඒ ආර්ථිකයට තාප බලාගාර, අධිවේගී මාර්ග, වරාය සැලසුම් කරන ඉංජිනේරුවන් ඕන නෑ. ඒ වෙනුවට ගල් අතුරන කම්කරුවොයි, මේෂන් බාස්ලයි හිටියම ඇති. අධ්‍යාපනය සකස් කරන්නේ එවැනි රැකියාවලට අවශ්‍ය අවම දැනුම දෙන්න විතරයි. ඊළඟට නිෂ්පාදනයක් නොකර පිටරටින් එන බඩු විකණන ආර්ථිකයක් නිසා ඕන කරන්නේ තාක්ෂණඥයන් වෙනුවට සේල්ස් රෙප්ලා. අධ්‍යාපනය හැදෙන්නේ ඒ ආකාරයට. තුන්වෙනි කාරණාව සමාජ ක්‍රමයේ අර්බුදය. මේ ධනවාදී ක්‍රමය සකස්වෙලා තියෙන්නෙම ලාබ උපයන්න මිසක් මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙනා දැනුම සමාජගත කරන්න නෙවෙයි, අධ්‍යාපනය සමාජයේ පොදු අයිතියක් කරනවා වෙනුවට වරප්‍රසාද ලත් කුඩා කොටසකට සීමාකිරීම. අධ්‍යාපනයේ සම අයිතිය ආරක්ෂා කරන්න නම් මේ සමාජ ක්‍රමයට එරෙහි අරගලයට අප උරදෙන්න ඕන. ඒ නිසා අපට කෙටි කාලීන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වගේම දිගුකාලීන ක්‍රම වෙනසක් සඳහා වූ අරගලයටත් නායකත්වය දෙන්න සිදුවෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම, විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීම වැනි අරගල ප්‍රතිසංස්කරණ සඳහා තමයි. එස්.බී - බන්දුල එළවීමේ සටනත් ඒ වගෙයි. අප ඒවාටත් නායකත්වය දෙනවා. එතැනින් නොනැවතී අධ්‍යාපන අයිතිය සමාජගත කෙරෙන පොදු සමාජ අරගලයටත් නායකත්වය දෙනවා. එවැනි පුළුල් දේශපාලන ව්‍යායාමයක එක් අවස්ථාවක් ලෙස මේ සම්මන්ත්‍රණය හඳුන්වන්න පුළුවන්“.

No comments:

Post a Comment