Tuesday, 2 October 2012

ශ්‍රී ලංකාව වාර්තා අතරට

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවස්ථා තුනකදී අවසන් පූර්ව වටයට පිවිසි ලොව දෙවැනි කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට පිවිසියේය. ඒ ඊයේ පැවති තරගයේදී වත්මන් ලෝක ශූර එංගලන්තය ලකුණු 19කින් පරාජය කිරීමත් සමගයි. එම පරාජයත් සමග එංගලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 169ක් රැස් කළේය. එය 20/20 තරගයකදී ශ්‍රී ලංකාව මෙරටදී ලැබූ පස්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර එංගලන්තයට එරෙහිව ලැබූ සත්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංලන්තය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරනු ලැබුවේ, මහේල ජයවර්ධන සහ ටී.එම්. ඩිල්ෂාන් විසිනි. පන්දු 12කට මුහුණ දුන් ඩිල්ෂාන් 4 පහරක් සහ 6 පහරක් සමගින් ලකුණු 16ක් රැස් කළේය. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන පන්දු 38කදී ලබා ගත් ලකුණු 42කට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28ක් ලබා ගත් අතර තිසර පෙරේරා ලකුණු 26ක් රැස් කළහ. පන්දු යැවීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් පන්දුවාර 4කදී ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය. එංගලන්තය මුල් පෙළ කඩුලු තුන ලකුණු 18ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව සමිත් පටෙල් සහ ඔවන් මෝගන් අතර සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු සබඳතාව ලකුණු 55කි. සමිත් පටෙල් 4 පහර 8ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 48කදී ලකුණු 67ක් රැස් කළේය. ග්‍රෙහැම් ස්වෝන් ලකුණු 34යි. ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තේය. ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20/20 යන අංශ තුනෙන්ම ඉණිමකදී කඩුලු 5 බැගින් දවා ගත් පන්දු යවන්නන් අතර සිව්වැන්නා වන්නේ ද ඔහුයි. පාකිස්ථානයේ උමාර් ගුල් නවසීලන්තයේ ටිම් සවුති සහ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් මිට පෙර එම දක්ෂතාව ප්‍රදර්ශන කළේය. 20/20 තරගයක ඉණිමකදී කඩුලු 5 සීමාව පසු කළ ලොව අටවැනි පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි.

No comments:

Post a Comment