Monday, 8 October 2012

මෙරට උගතුන් බුද්ධිමතුන් කැලෑ නිතීයේ පාතාල කල්ලිවල පහරදීම්වලට ලක්වෙමින් සිටිනවා - ජවිපෙ

මෙරට උගතුන් බුද්ධිමතුන් කැලෑ නිතීයේ පාතාල කල්ලිවල පහරදීම්වලට ලක්වෙමින් සිටින බවත් අද වනවිට විනිශ්චයකාරවරුන්ට පහරදීම ආරම්භ වී ඇත්තේ අහඹු සිදුවීම් ලෙස නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (08) දහවල් පැලවත්ව බත්තරමුල්ල පිහිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා දැක්වූ අදහස් පහත පළවේ. "අපි කවුරුත් දන්නවා රටක පරමාධිපත්‍ය බලය කි‍්‍රයාත්මක වන ආයතන 03 ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිළිබිඹුව තමයි රටේ අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාකිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාවීමට ඉතාම වැදගත්. නමුත් පහුගිය කාලයේ සිටම අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විවිධ ආකාරයේ ප‍්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති මර්මස්ථානවලට සෘජුව සහ වක‍්‍රාකාරයෙන් එම ප‍්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. එම ප‍්‍රහාර නිසා දිනෙන් දින ජනතාවගේ කතාකිරීමේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස එමෙන්ම ජීවත්වීමේ නිදහස අහිමි වෙමින් යනවා. යුක්තියේ සාධාරණත්වය අහිමි වෙමින් යනවා. මාධ්‍යවේදීන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බියවැද්දීම්, මරණ තර්ජන කිරීම් වගේම නිතීයේ ආධිපත්‍ය දරණ, අධිකරණයේ තනතුරු දරණ විනිශ්චයකාරවරුන්ට පහර දීමටද දැන් පටන් ගෙන තිබෙනවා. මෙරට උගතුන් බුද්ධිමතුන් කැලෑ නිතීයේ පාතාල කල්ලිවල පහරදීම්වලට ලක්වෙමින් සිටිනවා. රාජපක්ෂ පාලනයේ දෙවැනි පාලන සමය ආරම්භවනවාත් සමගම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අකුලලා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමත් සමග මෙවැනි තත්වයක් උදාවීම ආරම්භ වුණා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ සංවරණය සහ තුලනය බිඳ වැටීම ආරම්භ වුණා. අද වනවිට ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලතල විධායකයේ බලතලවලට යටත් කරගනිමින් තිබෙනවා. එනිසා තමයි මෙම මරු ප‍්‍රහාරයන් එල්ල වෙමින් තිබෙන්නේ. මෙම සිදුවීම් ගත්තාම අහම්භයෙන් සිදුවන සිද්ධීන් ලෙස සලකන්න බැහැ. වෛද්‍ය සභාවේ සභාපති නෝනිස් මහතාට, වෛද්‍ය සභාවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත්බෝම්බයක් දැමීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මරණ තර්ජන එල්ල වෙන්නේත් ඒ වගේම අද වනවිට විනිශ්චයකාරවරුන්ට පහරදීම ආරම්භ වෙලා තියෙන්නේත් අහඹු සිදුවීම් විදියට නෙවෙයි. ඉතා සැලසුම් සහගතව කැලෑ නීතිය පාලනය කරන මැර කණ්ඩායම් විසින් සිදුකරන පහරදීම් ලෙස තමයි මේවා සිද්ද වෙන්නේ. නමුත් දැන් ආණ්ඩුව කියනවනම් මේ සිද්ධීන් කරන්නේ කවුද කියලා දන්නෑ, කවුරුත් නොදන්නා බූතයින් විසින් කරනවා කියලා. ඒවා හාස්‍ය උපදවන විහිළු කතා පමණයි. මේ රටේ ජනතාව කවුරුත් දන්නවා පහුගිය දිනවල අධිකරණය සහ විධායකය අතර ගැටලු සහගත තත්වයක් උද්ගත වුණා කියලා. නීතිය තමන් යටතට ගැනීමට කටයුතු කිරීමෙන් තම අත්තනෝමතික අඥාදායකත්වයට යටත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් මේ ගැටලුව මතුවුණා. එනිසා තමයි මංජුල තිලකරත්න මහතා කොමිසම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේ. එහි ඔහු සඳහන් කළා අධිකරණය කොමිසමේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් කළ බලපෑම් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි තමන් සතුව තිබෙවන බව. ඒ වගේම අධිකරණ සේවා කොමිසමේ වැඩකටයුතු ස්වාධීනව කරගෙන යන්න අපහසු බව එම නිවේදනයෙන් එතුමා සඳහන් කළා. එම කි‍්‍රයාව ඔහුගේ පෞද්ගලික වුවමානාවට කළ දෙයක් නෙවෙයි. සියලු දෙනාටම බලපාන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තමයි එම මැදිහත්වීම කළේ කියලා. එනිසා අපේ රටේ ජනතාව හොඳටම දන්නවා මේ විදියේ අර්බුදයක් මතුවෙලා තිබුණ බව. ඉන් අනතුරුව මංජුල තිලකරත්න මහතා මාධ්‍යවලට ප‍්‍රකාශ කරලා තිබුණා මේ හේතුවෙන් තමන්ට ජීවිතයට තර්ජනයක් එල්ලවෙලා තිබෙන බව. මේ වගේ අවස්ථාවක තමයි ගිය 07 වෙනිදා ඔහුට පිරිසක් විසින් මැර ප‍්‍රහාරයක් එල්ල කරන්නේ. මෙම පහරදීම අධිකරණය තම අවශ්‍ය විදියට හසුරුවා ගැනීමට තමන්ගේ පාලනයට අවශ්‍ය පරිදි මෙල්ල කරගැනීමට සිදුකළ පහරදීමක් බව පැහැදිලියි. මේ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ පිළිබඳ රටට ජනතාවට ඇත්ත කරුණු ඉදිරිපත් කිරීමයි. නමුත් ආණ්ඩුව කළේ කැබිනට් එකේ ඇමතිවරු කිහිපදෙනෙක් නම් කරලා කමිටු දාලා මංජුල තිලකරත්න මහතාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තිබෙන කරුණු ගැන විමර්ශනය කරන එක. ඔහුට එරෙහිව පෞද්ගලිකව මඩ ව්‍යාපාරයක් ආරම්භ කරපු එක. මේ දේවල්වලින් පිළිබිඹු වන්නේ වෙන මොකුත් නොවේ ආණ්ඩුවේ දේශපාලන බංකොළොත් භාවයයි. දැන් ඕනෑම දේකට යොදාගන්නා පුරුදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා මේ සිද්ධිය සම්බන්ධයෙනුත් කියන්න පටන් අරගෙන තියෙනවා. ආණ්ඩුවේ ඉන්නවා ඕනෑම දේකට මේ වගේ වාචාල කතා කියන ඇමතිවරුන් කිහිපදෙනෙක්. ආචාර්යවරුන් ජාතික අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් දළජාතික නිෂ්පාදිතයෙන් වෙන්කරන මුදල් වැඩි කරන්න කියලා අරගලයක් ආරම්භ කලාම ඒකටත් කිව්වා මේ පිටුපස තියෙන්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කියලා. ඒ නිසා හරි පැහැදිලි මේ ඇත්ත සිද්ධීන් යටපත් කරන්න කියන ඇත්ත ලෝක බැංකුවේ කුමන්ත‍්‍රණවලට හවුල්වෙලා වැඩකරන ඇමතිවරුන්ගේ වාචාල කතා පමණයි. ඒවගේ මේ පහරදීමත් දැන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙලා. එනිසා අපි කියනවා සාමාන්‍ය පෙළවත් සමත් නැති, කවදාවත් විශ්වවිද්‍යාලයකට ගිහින් නැති සමහරක් ඇමතිවරු කියන මෙවැනි කතාවලින් පැනනැගී ඇති අර්බුද වගන්න බැහැ. අධිකරණවලට බලපෑම් තිබෙනවා කියන දේට ඕනතරම් උදාහරණ තියෙනවා. අධිකරණ ක්ෂේත‍්‍රයේ සිදුකළ පත්වීම්වලට, මාරුකිරීම්වලට සෘජුව බලපෑම් එල්ල වුණු හැටි මේ රටේ ජනතාව ඕනතරම් දැකලා තියෙනවා. මන්නාරමේ අධිකරණයට ගල් ගැසූ සිද්ධියට, විනිශ්චයකාරවරයාට තර්ජනය කිරීමට වගකිව යුත්තන්ට තවමත් පරීක්ෂණ කිරීම් අවසන් කරලා නැහැ. තවත් උදාරණ තිබුණා. එනිසා තමයි අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයාට නිවේදනයක් නිකුත් කරමින් කියන්න සිද්ධ වුණේ තමන්ට බලපෑම් සිද්ධ වෙනවා කියලා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ විදියේ බලපෑම් අධිකරණයට කරන්න බැරි බව. ඒ නිසා හරි පැහැදිලියි මෙම බලපෑම් එල්ල වෙන්නේ විධායකය මගින් කියලා. ඉන් පසු සිද්ධියක් සිදු වුණාට පසුව බොරුවට හෙලා දැකලා නිවේදන නිකුත් කරනවා. අත්අඩංගුවට ගන්න කියලා. මේ කරන හෙලාදැකීම්වලින් ආණ්ඩුව කරන වරද වහගන්න බැහැ. අධිකරණය හා විධායකය අතර තිබෙන ගැටුම ජනතාව හොදින් දැක්කා. එනිසා තමයි මෙවැනි පහරදීම් සිදුකරන්නේ. ඇත්තටම පහරදුන්නා නොවෙයි. පැමිණි මැරයින් උත්සාහ දරා තිබෙන්නේ එතුමා පැහැරගෙන යන්න. එම අවස්ථාවේදී ඇති වු හදිසි තත්වය නිසයි එම පැහැරගැනීම සිදුකිරීමට නොහැකි වෙලා තියෙන්නේ. එහෙම නොවුනා නම් අතුරුදහන් වූ ලේඛනයේ මෙතුමාගේ නමත් ඇතුල් වෙන්න පුළුවන් කම තිබුණා. මෙවැනි සිදුවීම්වලින් සිදුවන්නේ රටේ අනාගතය, නීතිය, සාධාරණත්වය අරාජිකත්වයට පත්වීමයි. එවැනි අනතුරකට දැන් රට පත්ව තිබෙනවා. රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටෙමින් යනවා. ලෝකයේ බොහෝ රටවල ඒකාධිපති පාලකයින් අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට යෑමෙන් එම රටවල පාලනය බිඳවැටුණා. එනිසා අද අප රටේත් ඇතිවෙලා තියෙන්නේ එවැනි අර්බුදකාරී තත්වයක්. එනිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. රටේ මතුවෙලා තිබෙන තත්වයක් සුළුපටු දෙයක් නෙවෙයි. අභාග්‍ය සම්පන්න තත්වයක් එනිසා මෙම ඇතිවෙමින් තිබෙන අරාජිකත්වයෙන් රට මුදාගැනීම වෙනුවෙන් මැදිහත්වීම ජනතාවගේ වගකීමක් ලෙෂ අපි දකිනවා. වියරු වැටුප ආණ්ඩුවේ මෙවැනි අමානුෂික ප‍්‍රහාරයන් වැලැක්වීමට ජනතාව අවශ්‍ය මැදිහත්වීම සිදුකළ යුතුයි. නීතියේ සාධාරණත්වය වෙනුවෙන් එම කැපවීම සිදුකළ යුතුයි. එමෙන්ම අපි ආණ්ඩුවට බලකර සිටිනවා එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස. බොරු වාර්තා ඉදිරිපත් කරන්නේ නැතිව කොහෙත්ම අදාල නැති පුද්ගලයින් සැකකාරයින් බවට පත්කරන්නේ නැතිව විනිවිදභාවයෙන් යුතුව එම පරීක්ෂණ කරන්න කියලා. ඒ වගේම මෙවැනි තත්වයන් ඇතිවීම වැලැක්වීමට වහාම මැදිහත් වෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා." එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්... "ආණ්ඩුවේ පරීක්ෂණ ගැන අපිට කිසිදු විශ්වාසයක් නැහැ. බොරු වාර්තා ඉදිරිපත් කරලා පරීක්ෂණ යටගහපු අවස්ථා තිබුණා. එනිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණත් ගැන අපට විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. මෙවැනි සිද්ධීන් එකක්, දෙකක්, තුනක් සිදුවන තෙක් රටේ ජනතාව බලාගෙන ඉන්න පුළුවන්කම තිබෙනවා. නමුත් දිගින් දිගටම සිදුවන මෙවැනි කි‍්‍රයාවන්ට එරෙහිව රටේ ජනතාව උගග්ගු බුද්ධිමත්තු අනිවාර්යෙන් නැගී සිටින බව අපට විශ්වාසයක් තියෙනවා. අනෙක් කාරණය තමයි මීට පෙර ඉදිරිපත් කරන ලද එල්. එල්. ආර්. සී. වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා අධිකරණයට බලපෑම් සිදුවෙනවා එම බලපෑම් පිළිබඳ සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. එනිසා ආණ්ඩුවම තමයි මේ ආකාරයේ බලපෑම් නිසා විදේශ බලපෑම් ළඟ කර ගන්නේ. මන්නාරමේ අධිකරණයට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් නීතිඥ සංගමය මැදිහත්වූ ආකාරයේ අඩුවක් අපි දැක්කා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයෙන් එම සිද්ධියට මැදිහත් වුණේ නැති නිසා නැවත මෙවැනි සිද්ධීන් දිගින් දිගටම සිදුවෙන්න, වර්ධනය වෙන්න හේතුවුණ බවයි අපේ හැඟීම."

No comments:

Post a Comment