Wednesday 7 November 2012

හොරණ ඉන්ධනහලේ මුදල් කොල්ල කෑ දෙදෙනා මාට්ටු

හොරණ ඉන්ධන පිරවුම්හලෙන් මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල පොලිස්ථානයට ලැබුණු තොරතුරකට අනුව අලුත්ගම කන්දෙවිහාරය අසල දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. පසුගිය සැප්තැම්බර් මස 13 වැනි දා හොරණ, පානදුර පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් රුපියල් 32,000 ක මුදලක් කොල්ලකා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ සිදුකළ විමර්ශනවල දී ඔවුන් කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු කිහිපයක් සඳහා අවශ්‍යව සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇත. සැකකරුවන්ට එරෙහිව අවිස්සාවේල්ල සහ පානදුර මහාධිකරණවල මෙන්ම බලපිටිය, කහතුඩුව සහ හොරණ යන මහේස්ත‍්‍රාත් අධිකරණවලද නඩු 15 ක් පමණ ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

No comments:

Post a Comment