Tuesday, 13 November 2012

හින්දු බැතිමත්හු අද දීපාවලී සමරති

‍හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරනු ලබන්නේ, හින්දු බැතිමතුන් පීඩනයට ලක්කර සිටි නරගාසුරන් නැමැති අසුරයා මහා විෂ්ණු දෙවිඳුන් විසින් පරාජය කිරීම සිහිපත් කරමිනි. තමන් ආරක්ෂා කරගත් විෂ්ණු දෙවිඳුන්ට කෘතගුණ සැලකීම මෙම උත්සවයේ අරමුණකි. දීපවාලී යනු අඳුරින් - ආලෝකයට පැමිණීම යන්නයි. තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාට ද සාමය සෞභාග්‍ය සපිරි ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි නරගාසුරන් අසුරයා පරාජය වූ අවස්ථාවේ මහා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්ය. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ පහනේ ආලෝකය ලෙසින් සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරීවය. අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපවාලි දිනයේදී සිදු කෙරෙන්නකි. තම මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරනු ලබයි. දීපවාලී දිනයේදී සමස්ත හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය වන්නේ ධර්මය රජයන සෞභාග්‍යමත් අනාගතයක් උදාවනු දැකීමයි.

No comments:

Post a Comment