Saturday 9 March 2013

චාවෙස්‌ගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සතියකින් කල් යයි - ආරක්ෂක හමුදාව සීරුවෙන් - මදුරෝ ඇමරිකාවට තලයි

වෙනිසියුලානු බුද්ධි අංශ වාර්තාවකට අනුව කරකාස්‌ නුවර ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරියකු රටින් පිටුවහල් කරණ ලෙස වෙනිසියුලානු උප ජනාධිපති නිකුලස්‌ මාදුරෝ උපදෙස් දී තිබේ. මෙයට හේතුව වූයේ චාවෙස්‌ගේ අභාවය සිදුවී මොහොතකට පසු තානාපති නිලධාරියා වෙනිසියුලානු හමුදාවේ ඉහළපෙළේ නිලධාරීන්ව අමතමින් සාකච්ඡාවක්‌ කිරීමට උත්සාහ කිරීමයි. මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ විමසිල්ලෙන් සිටි වෙනිසියුලානු බුද්ධි සේවය උප ජනාධිපති නිකුලොස්‌ මාදුරෝ වෙත රහස්‌ වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය රට අස්‌ථාවර කිරීමේ මෙහෙයුමක්‌ සැලසුම්කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වෙනිසියුලානු රජය ඇමරිකා එක්සත් ජනපද බලධාරීන්ට චෝදනා කර සිටී. වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින්නැයි නියෝජ්‍ය ජනාධිපති මාදුරෝ ඇමරිකා එක්සත් ජනපදයට තරයේ කියා සිටියේය. ඒ සමගම ආරක්‍ෂක හමුදාව සීරුවෙන් තැබීමටද හෙතෙම නියෝග කර ඇත. වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස්‌ගේ සිරුර ඖෂධ ගල්වා හමුදා කෞතුකාගාරයක තැන්පත් කිරීමට වෙනිසියුලානු රජය තීරණය කර තිබේ. ලෙනින්, මාවෝසේතුන් සහ ස්‌ටාලින් වැනි නායකයන්ගේ සිරුරු සංරක්‍ෂණය කළ ආකාරයටම අනාගත පරපුර වෙනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිගේ සිරුරද ආරක්‍ෂා කරන බවද මාදුරෝ තවදුරටත් ප්‍රකාශ කර සිටී. මේ පසුබිම මැද චාවෙස්‌ගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සතියකින් කල් තැබීමට තීරණය කෙරුණි. මෙම තීරණය ගැනීමට පැය 48 කට පෙර අදාළ එක්සත් ජනපද තානාපති නිලධාරියා රටින් පිටුවහල් කර තිබේ.

No comments:

Post a Comment