Wednesday 29 May 2013

රෝෂේන් චානක ඝාතනයට වසර 02යි - ජනාධිපති පත් කළ කොමිසන් වාර්තාව කෝ..?

රෝෂේන් චානක ඝාතනය කළ කටුනායක ප‍්‍රහාරයට වසර 02 ක් සපිරෙන මේ මොහොතේ ජනාධිපති පත් කළ කොමිසන් වාර්තාවට සිදුවූයේ කුමක්දැයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විමසයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් යුතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි. එකී ලිපිය පහත පරිදිය.

2011 මැයි 30 කටුනායක ප‍්‍රහාරය සහ මහානාම තිලකරත්න කොමිසම සම්බන්ධවයි



ඔබගේ ආණ්ඩුව විසින් 2011 අපේ‍්‍රල් මස මුල දී පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරනු ලැබූ පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පනතට එරෙහිව මැයි 24 වන දිනට විරෝධතා දිනයක් එවකට ක‍්‍රියාත්මකව තිබූ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබිණි. එම වෘත්තීය සමිති සන්ධානයේ එක් සාමාජික සංගමයක් ලෙස, විශේෂයෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඉතා සාර්ථක උද්ඝෝෂණයක් සංවිධාන කෙරුණේ අප සංගමයේ මැදිහත් වීමෙනි. මැයි 28 වන දින කටුනායක සේවක නියෝජිතයින් හමුවූ කම්කරු හා කම්කරු සබඳතා ඇමති ගාමිණි ලොකුගේ මහතා එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව දැනුම් දුන්නේ ය.

නිදහස් වෙළඳ කලාපයේ මැයි 24 වන දින දියත් කෙරුණු විශාල උද්ඝෝෂණය ප‍්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලන ලොක්කන්ට හා වෙනත් ප‍්‍රකෝපකාරීන්ට ඔරොත්තු නොදුන්නක් වූයෙන්, කම්කරු ඇමතිගේ දැනුම් දීම නොතකා, ඔවුන් විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පනත නැවත ගෙන ඒමට සහාය ඉල්ලමින් පත‍්‍රිකා බෙදීම වෙළඳ කලාපය තුළ නොසන්සුන්තාවකට හේතු විය. අනතුරුව මැයි 30 වන දින එම දේශපාලකයින් මැරයින් සමග එක්ව උද්ඝෝෂණයකට සේවකයින් පෙළඹවීම නිසාවෙන් ඊට විරුද්ධව වූ සේවක විරෝධය හමුවේ දියත් කෙරුණු පොලිස් හා මැර ප‍්‍රහාරය හේතුවෙන් රෝෂේන් චානක නම් තරුණ කම්කරු සහෝදරයා ඇතුළු සේවක සේවිකාවන් 260 ක් පමණ ආසන්න රෝහල් වලට ඇතුළත් කරනු ලැබ එම තුවාල හේතුවෙන් රොෂේන් චානක සහෝදරයා ජුනි මස 01 වන දින ජීවිතක්‍ෂයට පත්විය.

එම මැර ප‍්‍රහාර, වෙඩි තැබීම් හා ඝාතනය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ඔබ විසින් ආසන්න දිනයකදී එවක විශ‍්‍රාමික විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ ඒක පුද්ගල කොමිසම පත් කරනු ලැබිණ. එකී කොමිසම ඉදිරියේ කරුණු විමසීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සේවා සංගමයේ සම ලේකම් ලෙස පහත අත්සන් කරන මා ද කොමිසම හමුවට කැඳවනු ලැබිණ. ඒ අනුව ඒ කොමිසම හමුවේ පෙනී සිටි පහත අත්සන් කරන අය මැයි 24 වන දින සිට මැයි 30 වන දින දක්වා සිදවූ සැබෑ තත්ත්වයන් ලිඛිත සාක්‍ෂි ඇතිව කොමිසම හමුවේ ඉදිරිපත් කරනු ලැබිණ.

ඉන් මාස කිහිපයකට පසු තිලකරත්න කොමිසමෙහි වාර්තාව ඔබ වෙත භාර දුන් බවට මාධ්‍ය වාර්තා පළ විය. ඒ නිසාවෙන් කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කරන ලෙසත් එම වාර්තාවේ පිටපතක් අප සංගමයට ලබා දෙන ලෙසත් ඔබගේ ලේකම්තුමා වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිඛිත ඉල්ලීමක් අප සංගමය 2011 අගෝස්තු මස 30 දින යොමු කළේය. එයට මේ වන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නැත. එවගේම, එකී වාර්තාවෙන් කරන ලද කිසිදු නිර්දේශයක් ගැන හෝ එවැන්නක් කි‍්‍රයාත්මක කළ බවක් හෝ මෙතෙක් අසන්නට නොලැබිණ. මේ මැර හා පොලිස් ප‍්‍රහාරයන් හේතුවෙන් සිදු වූ රොෂේන් චානක ඝාතනයට තව දින හයකින් අවුරුදු 02 ක් සම්පූර්ණ වන්නේ ය.

එහෙත් මිය ගිය ඔහුට සහ ඔහුගේ දෙමාපියන්ට මෙතෙක් ඉටු වූ සාධාරණත්වයක් නැත. අවම තරමින් රටේ ජනාධිපති ලෙස ඔබ පත් කළ තිලකරත්න කොමිසම ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි දැන ගැනීමටවත් ඔවුන්ට අවස්ථාවක් ලබා දී නැත. එළෙසින්ම, එම ප‍්‍රහාරයන්ගෙන් අනතුරට පත් තව බොහෝ දෙනෙකි. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූවන් ය. අනතුරට පත් ඔවුන්ගෙන් සමහරෙක් ද කොමිසම හමුවේ සාක්ෂි දුන්නාහ. ඔවුන්ට ද මේ වෙඩි තැබීමේ හා පහර දීමේ සිද්ධියට ගොදුරු වූවන් ලෙස, ජනාධිපති ලෙස ඔබ පත් කළ කොමිසම කියන්නේ කුමක් දැයි දැන ගැනීමේ සදාචාරාත්මක අයිතියක් ඇත. එම මානුෂික අයිතිය මෙතෙක් අහෝසි කෙරුණකි.

කොමිසම හමුවේ කරුණු ගොනු කළ එකම වෘත්තීය සමිතිය ලෙස එම කොමිසම ඉදිරිපත් කරන වාර්තාව සහ එහි නිර්දේශ ඇතොත් ඒ කවර නිර්දේශ දැයි දැන ගැනීමේ අයිතියක් අප සංගමයට ද ඇත. ඒ අයිතිය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සියලු සංවිධාන හා පුද්ගලයින් ද සතු වන්නකි. මේ ශී‍්‍ර ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් යැයි, සමාජයක් යැයි ඔබ කියන්නේ නම්, ඔබ විසින් පත් කරනු ලැබූ කොමිසමේ වාර්තාව රටේ ජනතාවගේ දැන ගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගකීම, ඔබට අත් හළ නොහැක.

එම වාර්තාව අපට වඩාත් හදිසි සහ වැදගත් වන්නේ පසුගිය මැයි 21 වන දින විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව කැඳවනු ලැබූ සංකේත වර්ජනයට හවුල් වීම සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් එළියට පැමිණීම වැළකීම වෙනුවෙන් පළමුව පොලීසියත් පසුව යුධ හමුදාවත් විශාල වශයෙන් යොදවා තිබීම මගින් වසර 02 ට පෙර වූ සිදු කළ භීෂණය නැවතත් සිහිපත් කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ට වැඩ වර්ජනය කිරීමට අප රටේ පවතින නීතිමය අයිතිය මෙන්ම ශ‍්‍රී ලංකා ආණ්ඩුව පිළිගෙන ඇති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අංක 87 සහ අංක 98 දරණ සම්මුති මගින් සහතික කර ඇති වැඩ වර්ජනය කිරීමට සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය උදුරා ගැනීමට කටයුතු යොදා තිබූ බැවිනි.

එබැවින් පොලිස් හා මැර ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් වූ රොෂේන් චානක ඝාතනයට දෙවසරක් සපිරෙන මේ මොහොතේ, මහානාම තිලකරත්න කොමිසන් වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කරන මෙන් අපි ඔබගෙන් නැවත වරක් ඉල්ලා සිටිමු. එම ඉල්ලීම මෙවර හෝ ඔබ විසින් ඉටු කරනු ඇතැයි විශ්වාස කරමු.

No comments:

Post a Comment