Wednesday 8 May 2013

මහේස්ත‍්‍රාත් අධිකරණය මාතලේ සමූහ ඝාතන නඩුවේ දිවුරුම් පෙත්සම් 13 බාරගනී



මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (08) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් 13න් දෙනෙක් විසින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. 88-89 සමයේ අතුරුදහන් වූ තම ඥාතීන්ගේ අස්ථි මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක සහිත බැවින් ඒවා පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලා සිටියහ.

චතුරිකා සිල්වා මහේස්ත‍්‍රාත්තුමිය ප‍්‍රකාශකර සිටියේ මෙම 13දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බවයි. එමෙන්ම එම 13දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා ලෙස රහස් පොලීසියට නියෝගයක්ද නිකුත් කරන ලදී. එම දිවුරුම් පෙත්සම් පිළිබඳව සලකා බලා ලබන 10වන දින තීන්දුවක් ලබා දෙන බවද පැවසීය.
මෙම පෙත්සම් කරුවන් වෙනුවෙන් උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතිඥයින් 10දෙනෙකු පෙනී සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානයක මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...
"ලංකා ඉතිහාසයේ විශාලතම සමූහ මිණී ඝාතන වළ සොයාගෙන තිබෙනවා. දැන් මෙතන මූලික පරීක්‍ෂණවලින් එලිදරවු වෙලා තිබෙනවා සිරුරු 156කට අදාල වන අස්ථි කොටස් හමුවී තිබෙන බව. එතකොට මෙය සමූහ ඝාතනයක්. එක පැත්තකින් සමූහ ඝාතනයන්ට ලක් වූ පුද්ගලයන්ගේ සිරුරු ලැබිලා තිබෙනවා. වගකිව යුතු රජයක කාර්යභාරය තමයි මේ පිළිබඳ අවධානය යොමු කොට මේ සිරුරු කාගෙද කියලා හඳුනා ගැනීමත් එම සිරුරු ඝාතනයට ලක් කළේ කවුද යන්නත් හඳුනා ගෙන දඬුවම් දීමත්. නමුත් රජය මුළුමනින්ම පහුගිය කාලේ  පුරාවටම මැදිහත් වුනේ මෙම පරීක්ෂණ යට ගහමින් මේ සඳහා ක‍්‍රියාමාර්ග අකුළුවමින් විටෙක මේක ඉතිහාසයේ මහාමාරිය වසංගතයක් යැයි කියලා ඔප්පු කරන්නයි. තව විටෙක 48 වීර පුරන් අප්පුගේ කැරැල්ලේ ප‍්‍රතිඵලයන් හැටියට ඔප්පු කරන්න. මේ ආදී ඉතාමත් ව්‍යාජ උත්සයන් දැරුවා. නමුත් ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය තුමා, අධිකරණ වෛද්‍ය නිළධාරීතුමා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායම් විසින් තහවුරු කරලා තිබෙනවා මෙම සිරුරු අයත් නිෂ්චිත කාල වකවානුව 1986 - 1990 කියලා.

දැන් නිෂ්චිත ලෙස සිරුරු ලැබිලා තිබෙනවා. නිෂ්චිත ලෙස කාල වකවානුවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා රජය විසින් මේ පරීක්‍ෂණ සිදුකොට වගකිව යුතු අය එළිදරවු කළ යුතුව තිබුනා. නමුත් ඒ සඳහා රජය දක්වන්නේ ඉතාමත් ඈලි මෑලි ස්වභාවයක්. ඒ නිසා තමයි ඒ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට අද සිද්ද වෙලා තිබෙන්නේ අධිකරණයට ඇවිල්ලා තමන්ගේ පුතා මෙතන ඉන්නවද? තමන්ගේ සොහොයුරා මෙතන ඉන්නවද? තමන්ගේ ස්වාමියා මෙතන ඉන්නවද? තමන්ගේ පියා මෙතන ඉන්නවද කියලා දිවුරුම් ප‍්‍රකාශ මගින් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. ඒ නිසා අධිකරණයෙන් අද වැදගත් තීරණයක් ලබා දීලා තිබෙනවා. ඔවුන් දිවුරුම් ප‍්‍රකාශ හරහා ලබා දෙන ලද ප‍්‍රකාශයන් පිළිබඳ අධ්‍යනයකින් පසුව තීරණයක් ලබා දෙන බව.

ඒ නිසා මෙය ඉතිහාසයේ හෝ කාලයේ හෝ වෙනත් ප‍්‍රශ්න හමුවේ යට ගහන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මෙයට වගකිව යුත්තන්ට අනිවාර්ය ලෙස දඬුවම් ලබා දිය යුතුයි. එය එළිදරවු කළ යුතුයි. ශිෂ්ට සමාජයක වගකීම ඒක. මිනිස් සංහතියක මහා මිනිස් සමුදායක් එක මිනීවලක ඝාතනය කොට වළදාලා තිබෙනවානම් එය ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක්. ඒ ඛේදචාචකය නිර්මාණය කළ අය කවුද ඒ සඳහා වගකිය යුත්තේ කවුරුද ඒ සිරුරු කාගෙද කවර ඥාතියගෙද කියලා හොයලා දීම මූලික වගකීමක්. ඒ නිසා එම ඥාතීන්ටත් එම සිරුරු හිමි ඒ පුද්ගලයන්ටත් යුක්තිය ඉටුවන තෙක් සාධාරණය ඉටුවන තෙක් මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි මේ අද නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ.

නීතිමය ක‍්‍රියාමාර්ග වගේම නීතිමය ක‍්‍රියාමාර්ග වලින් ඔබ්බට යන සමාජ ක‍්‍රියාමාර්ග මේ සඳහා අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ රට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශ්වාස තබන මේ රටේ මානව හිතවාදීකම් පිළිබඳ විශ්වාසය තබන ජනතාවගේ මානව අයිතීන් පිළිබඳ විශ්වාසය තබන සියළු බලවේගයන් මේ රටේ ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පෙරට ආ යුතුයි. ඒ වෙනුවෙන් පුළුල්තම බහුජන මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක තමයි පෙන්නුම් කරලා තිබෙන්නේ. මේ අයට යුක්තිය ඉටු විය යුතුයි. ඒ වෙනුවෙන් කරන අරගලයක මූලික පියවර තමයි මේ අධිකරණ ක‍්‍රියාවලියට මැදිහත් වීම. එතනින් එහා යන පුළුල් සමාජ ක‍්‍රියාවලියක අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වෙනුවෙන් මැදිහත් වීම මේ රටේ සමාජයේ කාර්යභාරයක් ලෙස අපි දකිනවා."


No comments:

Post a Comment