Sunday 12 May 2013

21 වැඩවර්ජනයට ගුරු-විදුහල්පතිවරුන් එකතුවේ

අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීම නිසා එය අහෝසි කිරීමට බලකරමින් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැනි දින වැඩවර්ජනය සඳහා ගුරු විදුහල්පතිවරුන් එකතුවීමට තීරණය කර ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පැවසීය. අද දින එම කමිටුවේ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස පැවසීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ සහෝදරයා,
2005 න් පසුව දීමනා හැර කිසිදු වැටුප් වැඩිවීමක් කිසිදු ගුරුවරයකුට ලැබිල නැහැ. එවැනි තත්වයක් තුල විදුලි බිල වැඩිවීම බරපතල තත්වයක්. 1997 සිට නොවිසඳුනු දිගින් දිගටම වැටුප් විෂමතා ප‍්‍රශ්ණයක් තිබෙනවා. ගිය වසරෙ අරගල 2ක් කරා ඒ සම්බන්ධයෙන්. ඔක්. 24 දින දැවැන්ත පාගමනක් ගියා. දෙසැ. 04 එක්දින අසනීප නිවාඩු වාර්තා කරා. උසස්වීම් 2010 න් පසු නෑ. ඒ නිසා දැනට වැටුප් ලබමින් උසස්වීම් නැතිව තමයි ගුරුවරුන්ට ඉන්නවෙලා තියෙන්නෙ. ආපදා ණය ගන්න බෑ. දේපල ණයක් ගන්න බෑ. මේ විදියට ගත්තම 225000 ක් ගුරුවරු ඉතා අසරණ තත්වයක තමයි ඉන්නෙ. ඒ අතරෙ තමයි පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට ඉතා විශාල විදුලි බිල වැඩිවීමක් කළේ. බොහෝ ගුරුවරුන්ගෙ නිවෙස් තුල ඒකක 90 ට එහා ගිය පරිභෝජනයක් තියෙන්නෙ. ඒ නිසා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් ප‍්‍රකාශකරල තියෙන විදියට මැයි 20 ට පෙර මේ අසාධාරණ ගාස්තු වැඩිකිරීම අකුල නොගත්තොත් මැයි 21 දින සංකේත වැඩවර්ජනයකට යන්න තීරණය කරල තියෙනවා. අපි ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව මේ තීරණයට සහයෝගය දක්වමින් 21 වන දිනට නියමිත වැඩවර්ජනයට සහභාගී වෙන්න තීරණය කරල තියෙනවා. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට ලිඛිතව දන්වල තියෙනවා මෙම වැඩවර්ජනය සඳහා දායක වෙන බවට. ඒ නිසා විවිධ සංශෝධන හරහා රටේ ජනතාවගෙන් ආපු විරෝධතා නිසා දැන් ආණ්ඩුව අඩි ගණනක් ආපස්සට හැරිල තියෙනවා. අපි කියනවා මේ සංශෝධන නෙවෙයි ඉහළ දාපු බිල සහමුලින්ම අයින් කරන්න  ඕන. නැතිනම් මේ වැඩවර්ජනය සඳහා ඒකාබද්ධවීම අනිවාර්යයි. ඒ වගේම විදුලි ගාස්තු වැඩිවීම නිසා ඊට එරෙහිව ගන්න  ඕනෑම ක‍්‍රියාමාර්ගයකට එකතු වෙන්න අපි ලැහැස්තියි. ඒ අනුව මැයි 15 වැනිදට යොදාගෙන ඇති විරෝධතා පා ගමනට එකතුවෙන්න ලැහැස්තියි ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව විදියට.
ඔබ දන්නවා පසුගිය කාලෙ අපි කරපු අරගලවලදී ආණ්ඩුව හැම විටම ඒව මර්ධනය කරන්න ක‍්‍රියාමාර්ග ගත්ත. දැන් මේ සටන වෙලාවෙත් සමහර කලාප වලට ගිහිල්ල පොලිසියෙ මහත්තුරු යොදවල ගුරු සංගම්වල නාම ලේඛන එකතු කරමින් ඉන්නවා. අපි අහනවා මොකටද පොලිසියෙ මහත්වරුන්ට ගුරු සංගම්වල නාම ලේඛන. මේ කරමින් ඉන්නෙ මේ පෙළගැසෙන බලවේගය මර්ධනය කරන්න. අපි කියන්නෙ එවැනි කකුල් මාට්ටු දාල මේ ක‍්‍රියාමාර්ග පරාද කරන්න බෑ. ඒ සියල්ල පරාද කරමින් 21 වැඩවර්ජනය සාර්ථක කරන්න අපි උපරිම කැපකිරීම කරනවා. හෙට සිට 20 දින දක්වා පාසල් ගුරුවරුන් දැනුවත් කරමින් මේ ක‍්‍රියාමාර්ගය සඳහා දායක කරගන්න  කටයුතු කරනවා.
මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පති සේවා සංගමයේ මධ්‍ය විධායක සභික සුදත් ඇසලාල් ද, පිරිවෙන් ගුරු සේවා සංගමයේ සීලානන්ද ස්වාමීන් වහන්සේද අදහස් ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment