Monday 13 May 2013

21 වර්ජනයට බස් සංගම්, වතු වෘත්තීය සමිති, විදුලි පාරිභෝගික සංගම් සහායත්





මැයි 21 දින වැඩවර්ජනය සඳහා විවිධ සංවිධාන පෙළගැස්වීම වෙනුවෙන් අද දින කොළඹ නිපොන් හෝටලයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හමුවක් පැවැත්විණි. ඒ සඳහා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය වෙනුවෙන් ලේකම් අංජන ප‍්‍රියංජිත්, ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ ලේකම් බන්දුල චන්‍ද්‍රසේකර, සමාජවාදී වතු සේවක සංගමයේ ලේකම් මහින්ද දේවගේ, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා යන අයද විදුලි, වරාය, මුද්‍රණ, සෞඛ්‍ය, ආදී ක්‍ෂේත‍්‍රවල වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීමට එරෙහිව 21 වැනි දින යෝජනා කර ඇති වැඩවර්ජනය සඳහා තම සහාය උපරිමයෙන් ලබාදෙන බව මෙහිදී පෞද්ගලික බස් හිමි සංගමයේ ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා පැවසීය. එමෙන්ම ඉදිරියේදී වයඹ සහ දකුණු පළාත් සභා බස් සංගම් සමග සාකච්ඡුා සූදානම් කර ඇති බවත් එහිදී ඔවුන්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමට තීරණය කරන බවද ඔහු පැවසීය.
ඊට අමතරව හෙට දින දවල් 12.00 ට විදුලි බල මණ්ඩල නියෝජනය කරන සියළුම වෘත්තීය සමිති හමුවක් පැවැත්වෙන බවත් මෙම වැඩවර්ජනය සඳහා එම වෘත්තීය සමිතිවල සහාය උපරිමයෙන් ලබාගැනීමට කටයුතු කරන බවද ලංකා විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල් සහෝදරයා එහිදී අදහස් දක්වමින් පැවසීය. ඊට අමතරව මෙම වැඩවර්ජනය සඳහා සහාය ලබා ගැනීමේ අරමුණින් මුද්‍රණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියළු වෘත්තීය සමිති හමුවක් හෙට දින යොදාගෙන ඇති බව මුද්‍රණ සංස්ථා සේවක සංගමයේ රංජන් ජයලාල් සහෝදරයා පැවසීය.
අද දින පැවති මෙම හමුව සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන් මහිම් මෙන්ඩිස් මහතාද, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් මුදිල කරුණාමුනි, නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය වෙනුවෙන් ඇන්ටන් මාකස්, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල්ද සිල්වා හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
ඊට අමතරව මෙම වැඩවර්ජනය සඳහා සහාය ලබා ගැනීමේ අරමුණින් හෙට දින නීතීඥ සංගමය සමගත්, තැපැල් හා ටෙලිකොම් වෘත්තීය සමිති සමග මධ්‍යම තැපැල් හුවමාරුවේදීත්, එමෙන්ම  සවස 3.00 ට ගාල්ල දිස්ත‍්‍රික් වෘත්තීය සමිති සමග හමුවක් ගාල්ලේදීත් පැවැත්වෙන බවද මෙහිදී සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
එමෙන්ම මැයි 21 දින ජාතික විරෝධතා දිනයක් හා ජාතික කළු දිනයක් ලෙස නම් කර ඉදිරියේදී වැඩවර්ජනය සඳහා සියළු ජනතා බලවේග පෙළගස්වන්න කටයුතු කරන බවද මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
මීට අමතරව දේශපාලන පක්‍ෂවල සහාය ලබාගැනීමේ අරමුණින් හෙට දින දවල් 2 ට දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡුා කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසීය.
මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා වැඩිදුරටත් අදහස් දක්වමින්
අපි මේක ආරම්භ කරල දින 9 ක් වෙනවා. ඒ දින 9 ට ආණ්ඩුව පස්සට අඩිය තියල ඉවරයි.  හැබැයි අපි කියන්නෙ මේ රටේ වැඩකරන ජනතාවට සීනි බෝල දීල රවට්ටන්න ලැහැස්ති වෙන්න එපා. ඉතාම අසාධාරණ විදියට, කිසිදු ක‍්‍රමවේදයක් නැතිව පාඩු ලබන ආයතනවල බර ජනතාව මත පටවන්න දෙන්න බැහැ. ඒ නිසා අපි අවධාරණය කරනවා මැයි 20 වැනිදා වෙනකොට මේ වැඩිකරපු විදුලි බිල ආපස්සට හරවාගත්තෙ නැත්නම් මේ එක්රැුස්වෙලා ඉන්න වෘත්තීය සමිති නියෝජිතයින්, විදුලි පාරිභෝගික සමිති, පෞද්ගලික බස් හිමි සියළු සංවිධාන සමග එකතුවෙලා දැවැන්ත වැඩවර්ජනකට යන්න අපි සියළු බලවේග පෙළගස්වන්න ලැහැස්තියි.


No comments:

Post a Comment