Saturday, 11 May 2013

මේ දෙනවා කියන සහන බොරු! - ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත

ප්‍රශ්නය - මේ වෙනකොට ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති ඒකාබද්ධව විදුලි බිලට එරෙහි සටනක්‌ ගෙන යනවා. මෙය අපි දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් දකින කාරණාවලට වඩා වැදගත් වෙන්නේ ඇයි?

පිළිතුර - මේ විදුලි බිල වැඩි කරනවාය කියන කාරණය කරළියට එනකොට වෘත්තීය සමිති ගණනාවක්‌ සාකච්ඡා කරමින් හිටියේ තවත් වෘත්තීය සමිති කණ්‌ඩායම් එකතු කරගෙන කම්කරු පංතියේ ඉල්ලීම් මොනවා විය යුතු ද කියන කාරණය ගැන. අපේ සාකච්ඡාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මගහැරුණු, අධ්‍යාපනයට සියයට හයක්‌ වෙන් කිරීමේ කාරණය, රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයට වැටුප් වැඩිවීම්, මේ ආදී වශයෙන් බොහෝ කාරණා තිබුණා. උදාහරණයක්‌ හැටියට "ජනමාධ්‍ය නිදහස ඕනෑ" කියන එක අපිටත් අවශ්‍ය දෙයක්‌. මේ ගැන කතා කරමින් ඉන්නකොට තමයි විදුලි බිලේ ප්‍රශ්නය කඩා පාත්වුණේ. මේක වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඔබ්බට ගිහිල්ලා සමස්‌ත ආර්ථිකයටම, ජනතාවටම බලපාන ප්‍රශ්නයක්‌ නිසා අපි කල්පනා කළා, මේකත් අපේ සටන් පාඨයක්‌ කරගන්න. අපි ආණ්‌ඩුවට මාසයක්‌ කල් දුන්නා. මැයි මාසේ 20 වෙනකං. වැඩි කළ විදුලි ගාස්‌තු එදාට අඩු නොකළොත් අපි 21 වැනිදා වැඩ වර්ජනයක්‌ ආරම්භ කරනවා.

ප්‍රශ්නය - මේ කාරණය අනෙකුත් සටන්පාඨ අතරින් ප්‍රමුඛ සටන් පාඨයක්‌ වන්නේ ඇයි?

පිළිතුර - මේ විදුලි බිල පිළිබඳව ප්‍රශ්නය විදුලි බල මණ්‌ඩලයටම ලඝූ කරන්න පුළුවන් ප්‍රශ්නයක්‌ නොවෙයි. අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ චිත්‍රයක්‌ මේ හරහා ඇඳිලා තිබෙනවා. ඒ නිසාම මේ ප්‍රශ්නය හරිම වැදගත්. ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වැරැදියි. පාඩු ලබන ආයතන කාර්යක්‍ෂම කර ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරනවා වෙනුවට අකාර්යක්‍ෂමතාවත්, නාස්‌aතිය, මාµsයාව, අකටයුතුකම් එහෙමම තිබියදී වියදම පියවා ගන්න කියලා අර මුළු බරම ජනතාව පිට පටවන එක. මේ කරලා තියෙන්නේ ඒක. මේක තමයි ආණ්‌ඩුවකට කරන්න තියෙන සරලම හා පහසුම දේ. a මේක කරන්න ආණ්‌ඩුවකට මහන්සි වෙන්න ඕන නෑ. දැන් මේ රටේ විද්වතුන්ට පුළුවන් වෙන්න ඕන ආණ්‌ඩුවේ මේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන්න.. මොකද ඒක ඇතුළේ තමයි මේ හුඟක්‌ ප්‍රශ්න තියෙන්නේ.

ප්‍රශ්නය - දැන් මේ බොහෝ දේ ගැන ප්‍රශ්න කරන ජවිපෙ කාලයක්‌ ඇමැති ධුර දැරුවා. එහි සාධනීය තත්ත්වයන් ගැන සමාජයේ කියෑවීමක්‌ තිබෙනවා. විදුලි බල අමාත්‍යාංශය තිබුණ නම් ඔය ප්‍රශ්න විසඳන්න තිබුණාද?

පිළිතුර - පැහැදිලිවම බෑ. රටම අපිට දුන්නොත් පුළුවන්. හේතුව මේක විදුලි බල මණ්‌ඩලයේ ප්‍රශ්නයක්‌ම නෙවෙයි. මූල්‍ය අරමුදලේ ඉල්ලීම මත ආණ්‌ඩුව රුපියල අව ප්‍රමාණය කළා. ගල්අඟුරු ටොන් එකක්‌ රටට ගේනකොට ගණන ඩොලර් 1 නම් අපි රුපියල්වලින් 130 ක්‌ ගෙවන්න ඕන. කලින් ගෙව්වේ රුපියල් 110 යි. ආණ්‌ඩුව ගත්ත ඒ තීරණය නිසා අපි විසින් ගෙවන්න ඕන ගණන වැඩි වෙනවා. මේක ප්‍රශ්නයක්‌ නෑ. පිටරටින් අපි ගෙන්වන ප්‍රමාණයට වඩා යවන ප්‍රමාණය වැඩි නම්, එහෙනම් මේ ප්‍රතිපත්තිය අපිට ලාභයි. මේක වෙනස්‌ කරන එක විදුලි බල අමාත්‍යාංශයේ ඇමැතිකම අරගෙන කරන්න පුළුවන් වැඩක්‌ නෙවෙයි. දැන් ආණ්‌ඩුව කරන්නේ රටට හිතකර අපේ රටේ ප්‍රමුඛතා ලැයිස්‌තුවක්‌ ගත්තොත් එහි ඉහළින්ම තිබෙන දේ කරනවා වෙනුවට අදාළම නැති දෙයක්‌ කරන එක. උදාහරණයක්‌ හැටියට අපේ රටට තවත් තෙල් පිරිපහදුවක්‌ අවශ්‍යයි. එය ඉදිකළ මොහොතේ සිට රටට සල්ලි එනවා. නමුත් ආණ්‌ඩුව කරන්නේ සල්ලි ණයට අරගෙන හම්බන්තොට ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය හදන එක. ඕක හදනකොට රටේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ හතක්‌ තිබ්බා. එංගලන්තයේ තියෙන්නෙත් පහයි.

කෙසේ හෝ ඒ නිසයි අපි කියන්නේ තනි ආයතනයක්‌ අරගෙන මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බෑ. ඒ නිසයි, අපි කියන්නේ මේ විදුලි බිල වැඩි කිරීම ප්‍රශ්නයට උත්තරය නෙවෙයි කියලා. තිබුණු බිලට යන්න තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස්‌ කරන්න. ආණ්‌ඩුවත් කැප කිරීමක්‌ කරන්න.

ප්‍රශ්නය - ආණ්‌ඩුව මේ වෙනකොට සහනයක්‌ ලබා දීලා තියෙනවා......

පිළිතුර - මේ සහන කියන කතාව සම්පූර්ණ මුසාවක්‌.........

ප්‍රශ්නය - ඇයි එහෙම කියන්නේ.

පිළිතුර - ආණ්‌ඩුව කලින් තිබුණු විදුලි බිල අඩු කරා නම්, අපි කියනවා "සහනයක්‌" කියලා. කලින් තිබුණු විදුලි බිල තමන්ට රිසි තැනකට වැඩි කරලා. එතැනින් යම් ප්‍රමාණයක්‌ පල්ලෙහාට ගත්තොත් ඒක සහනයක්‌ නෙවෙයි. ඒක බොරුවක්‌. ඒ නිසා ආණ්‌ඩුව ඉස්‌සෙල්ලා තිබුණු තැනට ඇවිල්ලා මේ රටේ වෙනස්‌ තත්ත්වයක්‌ ඇති කර ගන්නට ආණ්‌ඩුව හා ජනතාවත්, දේශපාලන පක්‍ෂත් අතර එකඟතාවකට යා යුතුයි. මේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය එහෙමම තියාගෙන ජනතාවට ඒ බර පටවන එක සහනයක්‌ නෙවෙයි. මේක කොල්ලකෑමක්‌.

ප්‍රශ්නය -

ඒත් ඔබ ඔය කියන කාරණා ගැන ජනතාව එතරම් සංවේදී බවක්‌ පේන්න නෑ. ඉතිං විදුලි බිලට එරෙහි අරගලයට ජනතා පෙළගැස්‌මක්‌ තියෙයිද? ඔය ක්‍රියාමාර්ගය සාර්ථක වෙයිද?

පිළිතුර - මේ අරගලයේ පාර්ශව දෙකක්‌ තියෙනවා. පළමුවැන්න අසාධාරණයට එරෙහිව ජනතාවට දේශපාලන නායකත්වයක්‌ සපයන එක. දෙවැන්න ඒ දේශපාලන නායකත්වය සමඟ ජනතාව කොයිතරම් දුරට සම්බන්ධ වෙනවද කියන එක. ජනතාවට කොටසක්‌ තියෙනවා. අපිට කොටසක්‌ තියෙනවා. දැන් අපේ කොටස අපි ඉෂ්ට කරන්න ඕන. අපේ කොටස තමයි මේ අරගලයට නායකත්වය දෙන එක. මේක විවිධ ස්‌වරූපවලින් එළියට එන්න පුළුවන්. මහරගමින් පන්දම් පත්තුකරලා ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිට වැඩ වර්ජනය දක්‌වා ඒ ක්‍රියාවලියේ දිගුවක්‌ තියෙනවා. මේ එක එක ඒවාට ජනතාව සහභාගි වන ප්‍රමාණය වෙනස්‌.

ප්‍රශ්නය - 21 වැනිදා වැඩ වර්ජනයක්‌ දියත් කරන්න නියමිතයි. ඒකටත් ඔය "සහභාගිත්වයේ" වෙනස දැනුණොත්..

පිළිතුර - ඒ කියන්නේ අඩු වුණොත් කියන එකනේ. කමක්‌ නෑ.. අපි ඊළඟ පියවරට යනවා. කැප්පෙටිපොල 1818 කැරැල්ල ගැහුවට දිනුවේ නෑනේ. ඒත් අපි කැරැල්ල අගය කරනවා. ඇයි? ඒ කැරැල්ල සුද්දෝ මේ රටේ ප්‍රතිසංස්‌කරණ කරන්නත් සුද්දොa මේ රට දාලා යන්නත් හේතු වුණා. සමහර විට සටන් සියයකින් නෙවෙයි, දිනන්නේ එකසිය එකෙන්. ඒක නිසා අපේ වගකීම මේකට නායකත්වය දෙන එක. ජනතාව මතයි තියෙන්නේ මේක සාර්ථක වෙනවද නැද්ද කියන එක.

ප්‍රශ්නය - අපේ වැඩ වර්ජන ඉතිහාසය ඔබ ඔය කියන තරමේ සාර්ථක හෝ ජයග්‍රහණයන්a අත්පත් කරගත් ඒවා නෙවෙයි. එහි කටුක බව අත් විඳින්නන් බොහෝමයි. රජය මේ වැඩ වර්ජකයන්ට එරෙහිව දැන් ක්‍රියාමාර්ග ගත්තොත් එහි වගකීම "නායකත්වය" සපයන ඔබේ පාර්ශවයත් ගන්නවද?

පිළිතුර - මේ වැඩ වර්ජනය 80Z වර්ජනය වගේ එකක්‌ නොවෙයි. 53Z හර්තාලය වගේ එකකුත් නෙවෙයි. මේක එක්‌දින සංකේත වර්ජනයක්‌. මේ වැඩ වර්ජනය වෘත්තීය සමිති සීමාවෙන් එහාට අදාළ එකක්‌ නිසා ඊට එහා සිටින පිරිසත් සම්බන්ධ කරගන්න තමයි කටයුතු කරගෙන යන්නේ.

උදාහරණයකට අපි පොදු ජනතාවගෙන් ඉල්ලනවා, ඔබ වෙළෙඳපොළෙන් බඩු ගන්න එපා. පොදු ප්‍රවාහන සේවයේ ගමන් යන්න එපා. අපි පොදු ප්‍රවාහන සේවාවලින් ඉල්ලනවා එදාට ඔබ ධාවනය කරන්න එපා. අපේ ඉල්ලීම ඒක. ඔබ ඊට දායක වුණොත් මේ සටන සාර්ථකයි.

මේ ආණ්‌ඩුව බලයට එනකොට රාජ්‍ය සේවකයෝ විශාල බලාපොරොත්තුවකින් කටයුතු කළා. පෞද්ගලික අංශය, වතු ජනතාවත් එහෙමයි. ඒත් බලන්න පසුගිය මාර්තු මාසය ඉවර වෙනකොට පවුලකට අවශ්‍ය මාසික බඩු මල්ලේ ප්‍රමාණයේ මිල රුපියල් හතළිස්‌ හත්දාහයි. ඒ කියන්නේ 2006 ජනවාරි සිට 2013 මාර්තු වන විට එය රුපියල් 22,480 කින් වැඩිවෙලා.

මේකට සරිලන විදිහට වැටුප් වැඩිවෙලා නෑ. ජීවන වියදම වැඩිවීම මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක්‌. මේගොල්ලෝ බලයට එනකොට රටේ ජනතාවට කිව්වා, යුද්දේ දිනපු මහින්ද රට සංවර්ධනය කරනවා කියලා. බහුතර ජනතාව ඒක විශ්වාස කළා. අපි ජනතාවට එදා කිව්වා, ඒ ගැන විශ්වාසය තියන්න එපා කියලා. හැබැයි දැන් ජනතාව තුළින් ඒ විශ්වාසය ගිලිහිලා ගිහින්.

ප්‍රශ්නය - හැබැයි, ජනතාව මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය ගැන එහෙම නොපැහැදීමක්‌ ඇති බවක්‌ පේන්න නෑ.

පිළිතුර - ජවිපෙ කියන්නේ අතීතයේ ජීවත් වෙන පක්‍ෂයක්‌ නෙවෙයි. දියුණුව අවශ්‍යයි. අද අතුරු පාරකට වුණත් කාපට්‌ දාන්න ඕන..... මම නෑ කියන්නේ නෑ. ඒත්  මම කාර් එකක්‌ ගන්න කලින් මම බස්‌ එකේ යන්න එපායෑ. දැන් මේ ගොල්ලෝ කරන්නේ බස්‌ එකේ නොයා කාර් එක ගන්නවා වගේ වැඩක්‌. දැන් මේ ආණ්‌ඩුවේ ආර්ථිකය ගරාඡ් කරලා තියෙන්නේ.

සමාජයීය වශයෙන් මේ අපචාර, ස්‌ත්‍රී දූෂණ, මිනීමැරුම්, කුඩු ජාවාරම්, මත් උවදුරු, සූදු පොළවල්, ජාතිවාදය, ආගම්වාදය, තව මොනවද නැත්තේ, සමාජයීය වශයෙන් පිරිහීම දරාගන්න බැරි තැනට ඇවිල්ලා. මට කියන්න තියෙන්නේ සංවර්ධනය කියන්නේ රට කොන්ක්‍රීට්‌ කරන එක නොවන බවයි. පාරවල්, ගුවන්තොටුපලවල්, වරායවල් හදන්න ඕන. ඒවා රටකට අවශ්‍යයි. හැබැයි ප්‍රමුඛතාවන් තිබෙන කාරණා ඉස්‌මතු කොට ගන්න ඕන.

No comments:

Post a Comment