Monday 27 May 2013

ඉන්ද්‍රරතන හිමියන් අපවත්වීමට සැලැස්සුවේ ජාතික හෙළ උරුමයේ පටු දේශපාලනය - බිමල්

භික්ෂුවක් ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට සැලැස්වූයේ ජාතික හෙළ උරුමයේ පටු දේශපාලනය හා දේශපාලන බඩගෝස්තරවාදය බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික, සමාජවිදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා දිනපතා පුවත්පතකට පවසා තිබේ.
බුදු දහමට අදාළ යහපත් ප්‍රතිපත්තීන් ගසාගෙන කන හෙළ උරුමය දේශපාලනය තුළ කසළ ගොඩට විසි වෙමින් සිටින අවස්ථාවලදී මිනිසුන් නොමඟ යවන බවත්, එහෙයින් දේශපාලනය වෙනුවෙන් සිය දිවි නසාගෙන කටයුතු නොකළ යුතු මොහොතක බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගෙන අපවත් වූ බවත් බිමල් රත්නායක මහතා පවසයි.

සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බව කියන බොදු බල සේනාවද විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව බැට කමින් සිටියදී තනතුරු, තානාන්තරයන්ට හා විවිධ වරප්‍රසාදයන්ට යට වී පටු දේශපාලනයක් කරමින් සිටින බවද පවසා ඇති ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අපවත් වීම පිළිබඳ අපට තිබෙන්නේ විශාල කනගාටුවක්. උන්වහන්සේ ගිනි තබාගැනීම සම්බන්ධයෙන් ඇති කනගාටුව වගේම සමාජයේ පොදු අරමුණක් වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම පිළිබඳ අපට යම් අගය කිරීමක් තිබෙනවා.

නමුත් ගව ඝාතනය වෙනුවෙන් වගේම සිය සිරුරට ගිනි තබා ගනිද්දී උන්වහන්සේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් කිරීමේ කනගාටුවෙන් පසුවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේකට සැබෑ සහ ප්‍රධාන හේතුව වන්නේ කැසිනෝ, ගණිකා මඩම් මේ රටේ විවෘත කෙරෙද්දී නිහඬව ඉන්න ජාතික හෙළ උරුමය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජීවිත දීමට ජනතාව මෙහෙයවීමයි. ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවේදී කැසිනෝ, ගණිකා වෘත්තිය පිළිබඳ නීතිවලට එකඟ වන බොහොම සුළුතරයක් සහිත සංවිධානයක්. කුමන හෝ සංවිධානයක සටන් පාඨය ජාතිවාදය වුණහම ඒ පස්සෙ දුවනවා. තවත් කවුරුහරි ගව ඝාතනය එපා කිව්වම ඒ සටන් පාඨය ගන්නවා.

සිය දිවි නසාගෙන කරන්න ඕන දේශපාලනයක් මේ රටේ නැහැ. තමන්ගෙ පක්ෂෙ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් පටු දේශපාලන අරමුණු ඉදිරියට ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. එවන් දූෂිත දේශපාලනයකට ජාතික හෙළ උරුමය යට වෙලා. හෙළ උරුමය කරන්න ඕනෙ තමන්ගෙ පක්ෂය ශක්තිමත් කරගෙන මේ රට දේශීය, විදේශීය හොරුන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීමයි.
"

No comments:

Post a Comment