Wednesday 22 May 2013

ජනමාධ්‍ය දුරාචාරය, රෝයි ඩයස් බිරිඳ සහ විජේවීර දියණිය

ජනමාධ්‍ය  ප්‍රජාතන්ත්‍රවාදයේ මුර පල්ලා ලෙස ක්‍රියා කරන අතරම  හිවළුන්ගේ කාර්‍ය භාරය ද විටෙක රඟපාන්නේ යැයි කියනු ලැබේ. මේ එවැනි අවස්ථාවකි.
සති කිහිපයකට පෙර  හොර රත්රන් ජාවාරමක් සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරියකු ඇතුළු ඉහළ පෙළේ බිරින්දෑවරියක ද පොලීසිය විසින්ම අත් අඩංඟුවට ගනු ලැබින. සිදුවීම වාර්තා කරන ලද නමුත් එම පොලිස් නිලධාරියාගේ නම කිසිම පුවත්පතක පළ නොවී ය. එමෙන්ම ශ්‍රී  ලංකා ක්‍රිකට් කන්ඩායමේ උපනායකයකුව සිටි පුද්ගලයකුගේ බිරිද ලෙස හඳුන්වනු විනා කොළඹ පළ වන පුවත්පත් හෝ වෙබ් අඩවි හෝ අත් අඩංඟුවට ගත් කාන්තාව  කාගේ කව්දැයි කියා හෝ ඇගේ නම් හෝ පළ කළේ නැත.
ඒ වනාහී රෝයි ඩයස් නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ බව වාර්තා කළේ විදේශයන්හි සිට පළ වන වෙබ් අඩවි දෙක තුනක් පමණි.
එහෙත්  මෙළෙස රෝයි ඩයස්ගේ බිරිඳ ආරක්ෂා කළ මුද්‍රිත මෙන්ම අන්තර් ජාල මාධ්‍ය සාමාන්‍ය ගැහැණියක කවර හෝ වරදකට අත් අඩංඟුවට ගැනෙන අවස්ථාවන්හිදීඑම ස්ත්‍රීන්ගේ නම් පමණක් නොව ඔවුන්ගේ හැඩරැව පවා ලියා දක්වන්නේ මහත් අභිරුචියකිනි.  පොලිස් නිලධාරියාගේ නම නොලියූ එම ජනමාධ්‍යම සාමන්‍ය පිරිමියකු සැක පිට අත් අඩංඟුවට ගැනෙන කළ සළකන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස ය.
දින කිහිපයකට පෙර ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීරගේ වැඩි මහල් දියණිය ඇයගේ මව විසින් කරන ලද පැමිණිල්ළක් මත රැදවූම්බාරයට පත්  කළ විට කොළඹ ජනමාධ්‍ය සියල්ලම තලුමරමින් ඇගේ නම, ඇයගේ මවගේ නම, ඇයගේ පියාගේ නම යනාදී සියල්ළ පළ කළේ ය. අතිශය කළාතුරකින් සිදුවන මවක විසින් දියණියක සිරගත කරනු ලැබීමේ මෙම සිදුවිමෙහි අනුවේදනීය බව එම කිසිදු ජනමාධ්‍යකට අවබෝධ වී නොතිබිනි. එනමුත් එම සියළු ජනමාධ්‍යන්ට රෝයි ඩයස්ගේ බිරිඳ ගැන මහත් අනුකම්පාවක් ඇති වී ඇගේ නම පළ නොකිරීමට පියවර ගෙන තිබුණි.
මේ සිදුවීම් දෙකෙහිදීම දෙනොම සැකකාරියන් පමණකි. එකම වෙනස රෝයි ඩයස් මහතාගේ බිරිඳ ඉහළ පෙළැන්තියට අයත් වීම පමණකි.
විජේවීර පවුලේ ආරවුලක් ඇතොත් එය ඔවුන්ට විසඳා ගැනීමට ඉඩ දී සිටීම සදාවාරවත් ජනමාධ්‍යක වගකීම නොවේ ද? තවත් වැදගත් කරැණක් නම් විජේවීර විසින් පිහිටුවන ලද ජවිපෙ දේශපාලන ක්‍රියාකාරකම් මෙම ජනමාධ්‍ය විසින්ම ඉහළින් වාර්තා කරන අතරම අයගේ දියණිය සම්බන්ධයෙන් තලු මර මරා පුවත් පළ කිරීමය‍. විජේවීරගේ දේශපාලනයට  මේ දරුවන්ගේ සම්බන්ධයක් නැත. ඔවුන් ජීවත්වනු ඇත්තේ ද මහත් චිත්ත පිඩා මැදය‍. එවැනි තත්ත්වයන් තේරුම් ගැනීම සදාචාරවත් මානවවාදී ජනමාධ්‍ය කලාවකට අවශය ය.
පුවතක් පළ කිරීමට පෙර එහි පොදු යහපත කුමක්දැයි විමසා බැලීම ගරුකටයුතු කතුවරැන්ගේ වගකීමය. එසේ වමසා බැලුවේ නම් මෙම පුවත තලු මරමින් වමාරා කමින් වාර්තා කැරෙන්නේ නැත.
ඒ දියණියට සිය ජීවිතය ගොඩ නඟා ගැනීමට කරුණාකර ඉඩ හරින්න. ඇය දුරචාර ජනමාධ්‍යයේ කට ගැස්මට නොගන්න.

No comments:

Post a Comment