Wednesday 29 May 2013

ජාත්‍යන්තර මාධ්‍යවේදියා හෙරොයින් ජාවාරමේ


ලක්ෂ පනහක කුඩුත් සමග හසුවේ
වසර ගණනාවක සිට ඉතාමත් සැලසුම් සහගතව රට තුළට හෙරොයින් රැගෙන ආ පාකිස්තානු ජාතිකයෙකු ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගැනීමට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) රාත්‍රී සමත් විය.

මෙරට හෙරොයින් ජාවාරම්කරුවෙකුට දීම සඳහා කිලෝ එකක හෙරොයින් තොගය රැගෙන යමින් සිටියදී සුරාබදු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තානයේ ලාහෝර් නගරයේ පදිංචිකරුවෙකු වන මොහු ජාත්‍යන්තර අපරාධ මාධ්‍ය වාර්තාකරුවෙකු බවත් ඒ සඳහා ඔහුට නිකුත් කළ හැඳුනුම්පතක්ද ඔහු සන්තකයේ තිබූ බවත් සුරාබදු නියාමක ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා පැවැසීය. මෙම සැකකරුට මෙරට නීත්‍යානුකූල නොවන භාර්යාවක් සිටින බවත් ඇය මගින් රට තුළ සැරිසරමින් මොහු වසර ගණනාවක් හෙරොයින් බෙදා හැර ඇති බවත් මූලික සුරාබදු පරීක්ෂණවලදී හෙළිවී ඇත. පාකිස්තානයේ සිට ගුවන් මගින් සැකකරු මෙරටට හෙරොයින් ආනයනය කර ඇති බවද මොහු හා සම්බන්ධ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සිටින බවද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
සැකකරු කොළඹ අවට ප්‍රදේශ රැසක මෙරට භාර්යාව සමග කුලී නිවෙස්වල පදිංචිව සිට ඇත. සැකකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කර ඇති අතර ඔහුව ලබන මස 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ඩබ්ලිව්.එල්.ඩී.විජේසේකර මහතා පැවැසීය. සුරාබදු කොමසාරිස් ජෙනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක සුරාබදු අධිකාරී රොහාන් විජේරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපත ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.ඩී.එස්. පතිරන මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන සංජය නිශාන්ත, වසන්ත පේමසිරි, එම්.රත්නායක, නියාමකවරුන්වන ඩබ්ලිව්.එල්.ජී.විජේසේකර, ඉන්දික සමරවීර, රමේෂ් කුමාර, සුරාබදු රියැදුරු දිල්රුක් යන නිලධාරීන් වැටලීමට සහභාගි වී ඇත.
සැකකරු භාවිතා කළ මාධ්‍ය හැඳුනුම්පත ඡායාරූපයේ දැක්වේ.

No comments:

Post a Comment