Wednesday 29 May 2013

මොරගහකන්ද චීන වැඩබිමේ මුළුතැන් ගෙයි ගෝන මස්‌!

මොරගහකන්ද මහවැලි වැඩබිමේ චීන සමාගමක මුළුතැන්ගෙය ඊයේ (28 දා) පරික්‍ෂාවට ලක්‌කිරීමේදී එහි තිබී ගෝන මස්‌ කිලෝ 30 ක්‌ සමඟ වැඩබිමේ ප්‍රධාන නිලධාරි චීන ජාතිකයා අත්අඩංගුවට ගත් බව ඇලහැර වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරී විරසේන මහතාට පැවසීය.

වැඩබිමේ චීන ජාතිකයන් දිගින් දිගටම අවට වනාන්තරයෙන් වනසතුන් දඩයම් කරන බවටත් පිඹුරන්, තලගොයන්, ඉබ්බන් වැනි සතුන් ප්‍රදේශවාසීන්ගෙන් මිලදී ගන්නා බවටත් ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බවද විරසේන මහතා පැවසීය. වැටලීම් සිදුකරන අවස්‌ථාවේදී මුළුතැන්ගෙයි සේවය කළ චීන ජාතික කාන්තාවන් සිව්දෙනකුගෙන්ද ප්‍රකාශ ලබාගත් බවත් එම අවස්‌ථාවේ සැඟව සිටි වැඩබිම් ප්‍රධානියා මහත් ආයාසයකින් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරියා සඳහන් කළේය.

චීන ජාතික වැඩබිම් ප්‍රධානී වං චූයි ෂා නමැත්තා මෙසේ අත්අඩංගුවට ගෙන නාඋල මහෙස්‌ත්‍රාත් මංජුල තිලකරත්න මහතා හමුවට පැමිණවීමෙන් පසු අදාළ චීන ජාතිකයා වරද පිළිගත් බවත් රුපියල් 30,000 ක දඩයක්‌ මත නිදහස්‌ කළ බවත් වනජීවී නිලධාරියා කියා සිටියේය.

මොරගහකන්ද වැඩබිම ඇලහැර - ගිරිතලේ ස්‌වභාව රක්‍ෂිතය තුළ පිහිටා ඇති අතර චීන ජාතිකයන් දිගින් දිගටම මෙහි දඩයම් සිදුකරන බවට තොරතුරු ලැබෙන බවද වනජීවී නිලධාරීහු ප්‍රකාශ කරති.

No comments:

Post a Comment