Wednesday 29 May 2013

රන්මසු සොයා සෞදි ගිය ඇල්පිටියේ විමලරත්නගේ ඇස් දෙකත් ගලවලා


දුප්පත්කම ඉහවහා ගිය මෙරට බොහෝ දෙනා විදේශ රැකියාවලට යන්නේ කීයක් හරි උපයාගෙන ගෙයක් දොරක් හදාගෙන සතුටින් පවුල් ජීවිතය ගත කිරීමේ අරමුණෙනි. එසේ විදේශගත වූ බොහෝ දෙනකුට පසුගිය කාලයේ අත්වූ ඉරණම් පිළිබඳව නිතර අසන්නට දකින්නට ලැබුණි. ඇල්පිටිය, තලගස්පේ, උඩෝවිට පදිංචි කේ.පී.විමලරත්න එවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ දෙදරු පියෙකි.
පසුගිය දෙසැම්බර් 9 වන දින එනම් 2012.12.09 දින සෞදි අරාබි රාජ්‍යයේදී මියගිය මොහුගේ දේහය මාස පහකට පසු 13 දා උදෑසන මෙරටට ගෙන එන ලදී. මෙරටට ගෙන ආ විමලරත්නගේ මෘත දේහය ස්ථාන කිහිපයකින් කපා කොටා තිබූ අතර ඔහුගේ ඇස් දෙකද ගලවා තිබුණි. බොහෝ සෙයින් විකෘති වූ මෘත දේහය ප්‍රදර්ශනය කළ නොහැකි වූ බැවින් එය මුද්‍රා තබා නිවසට ගෙන ඒමට සිදුවී තිබේ.
 ඛිෙදනීය ලෙස සිදුවූ විමලරත්නගේ මරණය
පිළිබඳව විස්තර කළ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන සුජීව සම්පත් මහතා (35) සිද්ධිය මෙසේ පැවැසීය. Vimalarathna2
 අයියා රට ගිහින් අවුරුදු හතර හමාරක් වෙනවා. එයා මේසන් වැඩට තමයි ගියේ. මුලින් හොඳට වැඩකරගෙන හිටියා. පසුගිය දෙසැම්බර් නම වෙනිදා රට ඉන්න දන්න අඳුනන අය කතා කරලා කිව්වා එයාට ගහලා මරලා කියලා. අපි හොයලා බැලුවම කතාව ඇත්ත. ඒ රටේ අය කියන්නේ හෘදයාබාධයකින් මැරුණා කියලා.
මේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා අපිට සැකයි. එයාට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. තවම ඒ අය ජීවත් වෙන්නේ කටුමැටි පැළක. ගෙයක් හදාගන්න කියලා තමයි රට ගියේ. අපේ අයියා වෙනුවෙන් සාධාරණ
පරීක්ෂණයක් සිදුවුණේ නැහැ. කිසිම වන්දියක් ලැබුණේ නැහැ. අපි මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යංශයට කිව්වා.  විදේශ කටයුතු අමාත්‍යංශයට කිව්වා. ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වා. ඒත් ජීවත්වෙලා ඉන්න අක්කයි දරුවෝ දෙන්නයි වෙනුවෙන් කිසිම සහනයක් ලැබුණේ නැහැ.
මියගිය විමලරත්නගේ බිරිඳ වන දුපීකා විජේරානි මහත්මිය (45) මහත්මිය දරාගත නොහැකි ශෝකයෙන් හඬා වැළපෙමින් සිටියාය. කිසිවක් ප්‍රකාශ කිරීමට තරම් ශක්තියක් ඇය තුළ නොවීය.
 මෙම අකල් වියෝව පිළිබඳව අදහස් දැක්වූ අසල්වාසී කාන්තාවක වන කුසුමලතා වීරරත්න (40) මහත්මිය මෙසේ කීවාය. මේ ගමේ ඉන්න දුප්පත්ම පවුල තමයි මේ. ඉතාම අමාරුවෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ. ඉන්න ගෙයක් දොරක් හදාගන්න කියලා තමයි විමලරත්න රට ගිහින් තියෙන්නේ. දැන් ඉතින් මේ අසරණ දරු පවුලට කාගේ Vimalarathna3පිහිටක්ද. මේ අයට ගෙයක් හදාගන්න උදව් කරන්න කියලා අපි ඉල්ලනවා. මැරුණ කෙනා ආපහු ගේන්න බැරි වුණත් ඉන්න අයට ජීවත් වෙන්න උදව් කරන එක මිනිස්සු හැටියට අපි කාගේත් යුතුකමක්.
මියගිය විමලරත්නගේ නිවසට පිවිසීමට හරිහැටි මාර්ගයක් හෝ නොමැත. මෘත දේහය බොහෝ දුරක් ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ නිවස වෙත කරමතින් ගෙන ආහ. දේහය තැන්පත් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් එම නිවසේ නොවීය. දේහය ඒ කුඩා කටුමැටි පැල්පත තුළ තැන්පත් කරනු ලැබුවේ ඉතා අපහසුවෙනි.
මියගිය විමලරත්නට දියණියක් හා පුතණුවෙකු සිටී. (17) දියණිය චම්පිකා මධුෂාණියි, (16) (පුතා) චාමර සම්පත්ය. දියණිය පසුගිය වසරේ අ.‍පො.ස. සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි නමුත් පියාගේ හදිසි වියෝව විභාගයට දින දෙකකට පෙර සැලවීම නිසා ඇයට විභාගයට සාර්ථකව මුහුණදීමට හැකිවී නැත. පුතණුවන් වන චාමර සම්පත් මෙවර අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලා‍පොරොත්තුවෙන් සිටියි.
 පසුගිය කාලය පුරාවටම විදේශගතවූ අයට සිදුවූ අවාසනාවන්ත ඉරණම් ගැන අසන්නට දකින්නට ලැබුණි. ඒ වෙනුවෙන් මෙරට බලධාරීන් නිසි ලෙස ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එසේ වන්නේ නම් මෙවන් අවාසනාවන්ත මරණ අවම කර ගත හැකි නොවේද?

No comments:

Post a Comment