Saturday 8 June 2013

ධීවරයන් 17 දෙනෙකු තවමත් අතුරුදන්


අයහපත් කාළගූණය හේතුවෙන් මුහුදේ අතරමංව සිටින ධීවරයන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ වේග ප‍්‍රහාරක යාත‍්‍රා 05ක් ඒ සඳහා යොදවා තිබෙන බවයි. ගාල්ලේ සිට කොළඹ දක්වා වූ මුහුදු සීමාවේ එම මෙහෙයුම් ක‍්‍රියාත්මක බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී ධීවරයන් 06 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. 
මේ අතර තවත් ධීවරයන් 17 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා
. පසුගිය පුවත්
 සැඩ සුළං හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක් තවමත් අඳුරේ
ඊයේ රාත‍්‍රියේ සිට පැවති වැසි සහ තද සුළං හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ නිවාස 12කට පූර්ණ හානි සිදුව තිබෙනවා. තවත් නිවාස 292කට අර්ධහානි සිදුව ඇති බවයි අතිරේක දිස්ත‍්‍රික් ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ. බේරුවල ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් 04 දෙනෙකු මියගොස් ඇති අතර දිවි බේරාගත් ධීවරයන් 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මේ අතර විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටුණා. කලූතර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවල විදුලි සැපයුම මෙතෙක් යථාවත් කර නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ. 
  මුහුද මැදදී අනතුරට ලක්වූ ධීවරයෝ 06 දෙනෙකු බේරා ගැනෙති
 මුහුද මැද අනතුරට ලක්ව සිටි ධීවරයන් 06 දෙනෙකු නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස, කොල්ලූපිටිය සහ බලපිටිය යන ප‍්‍රදේශවල සිදුකෙරුණු මෙහෙයුමකින් පසුවයි. නාවික හමුදාවේ නෞකා 03ක්ද, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් 03ක්ද මෙහෙයුම්වලට එක්ව සිටිනවා. අනතුරුවලින් දිවි ගලවාගත් ධීවරයන් 04 දෙනෙකු බලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු දිලීප් නිශ්ශංක පවසන්නේ.
 
 



2013-06-08
  අතුරුදන් ධීවරයන් සෙවීමට නෞකා සහ හෙලිකොප්ටර් ද යෙදවෙයි 
මහවැසි සහ වරින් වර ඇතිවන තද සුළං හේතුවෙන් මුහුද මැදදී අනතුරට ලක් වූ ධීවරයන් 6 දෙනෙකුගේ සිරුරු ගිංතොට, බලපිටිය, බේරුවල සහ බෙන්තර යන ප‍්‍රදේශවලට අද උදෑසන ගොඩ ගැසුවා. අනතුරට ලක්ව අසීරුවෙන් ජීවිත බේරාගත් තවත් 11 දෙනෙකු බලපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. එක් යාත‍්‍රාවක් ගොඩබිම පෙනෙන මානයේදී එහි සිටි ධීවරයන්ගේ ඥාතීන් ද බලා සිටියදීම අනතුරට ලක්වුණා.
 
බලපිටිය තොටුපොළ ධීවර සමිතියේ භාණ්ඩාගාරික එන්. සුදත් දේශප‍්‍රිය මහතා ද නෙත් නිවුස් වෙත කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ ප‍්‍රමාණවත් තරම් ජීවිතාරක්ෂක කබා ලබාදී තිබුණේ නම් මෙවැනි අනතුරුවලින් ධීවරයන්ගේ ජීවිත බේරාගැනීමට තිබූ බවයි
 
බේරුවල ප‍්‍රදේශයේ ද ධීවර පවුල්වල සාමාජිකයන් වෙරළට පැමිණ විලාප නගමින් සිටිනවා. 
 
දෙවුන්දර පුරාණවැල්ල ප‍්‍රදේශයට ද අනතුරට ලක් වූ යාත‍්‍රා සමූහයක් ගොඩගසා තිබෙනවා. එම ප‍්‍රදේශයෙන් මුහුදු යන ධීවරයන් පැවසුවේ වරායේ ඉදිකිරීම් විධිමත්ව සිදුකර තිබුණේ නම් මෙවැනි අනතුරුවලින් යාත‍්‍රාවන්ට සිදුවන හානි අවම කිරීමට තිබූ බවයි. 
 
රටපුරා ප‍්‍රදේශ කිහිපයකදී ධීවරයන්ට සිදුවූ මෙම අනතුරු සම්බන්ධයෙන් නෙත් නිවුස් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගෙන් ද විමසීමක් කළා. 
 
මේ අතර නාවික හමුදාව පවසන්නේ බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නෞකා 3ක් යොදවා තිබෙන බවයි. ජය සාගර නම් නෞකාව ගාල්ලෙන්ද, නන්දි මිත‍්‍ර සහ සයුර යන නෞකා කොළඹින් ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා. අවශ්‍ය වුවහොත් තවත් නෞකා ද ඊට යොදවන බවයි නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ
නාවික හමුදාවට සහාය වීම සඳහා සිය හෙලිකොප්ටර් යානා ද බේරාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා. අනතුරට ලක්වූ යාත‍්‍රා සහ ධීවරයන් සිටින ස්ථාන එම යානාවලින් හඳුනාගැනෙනු ඇති. 
 

No comments:

Post a Comment