Saturday 8 June 2013

නිදන් හොරු මහ දවල් වව්නියාවෙ පුරාවිද්‍ය ස්තාන හාරති

යුද්ධයේ අවසානයත් සමග දේශීය හා විදේශීය සංචාරකයන් හට නව සංචාරක කලාප රැසක් විවෘත විය. අරුගම්බේ පාසිකුඩා, නිලාවේලි, යාපනය, ආදී ප්‍රදේශ වෙත සංචාරය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල උනන්දුවක් දක්වති. මෙම සංචාරක ප්‍රදේශ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටා තිබෙන අතර යුද සමයේදී මෙම ප්‍රදේශවල සංචාරය කළ හැකි වූයේ නැත. දැන් කිසිදු බාධාවක් නැත. එම නිසා ඕනෑම සංචාරකයෙකුට රිසි සේ Purawasthu1ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව උදා වී ඇත.
යුද්ධයේ අවසානයත් සමග යාපනය දේශීය සංචාරක ව්‍යාපාරයට තෝතැන්නක් වූහ. වව්නියාව යනු යාපනයට යන අතරමග පිහිටි නගරයකි. ඒ නිසාම බොහෝ විට යාපනය සංචාරයේ යෙදෙන දේශීය සංචාරකයන්ගේ අතරමැදි නවාතැන්පළ වන්නේ වව්නියාවයි. වව්නියාව පසුකර, යන සංචාරකයන් වෙතින්  සුපුරුදු ප්‍රශ්නයක් නැගේ.
“වව්නියාවෙ මොනවාද බලන්න තියෙන්නෙ?” විශේෂයෙන් කියලා බලන්න දෙයක් නැහැ එවැනි ප්‍රශ්නයකට ලැබෙන පිළිතුර වන්නේ එයයි. නමුත් සත්‍ය එය නොවේ.
“වව්නියාවේ යන්නෙහි ඓතිහාසික නම වන්නේ “වැව්නිමාපුර” යන්නයි” උතුරුකරයේ ඓතිහාසික පසුබිම හාරා අවුස්සා බැලීමේදී වව්නියාවට හිමිවන්නේ සුවිශේෂී     ස්ථානයකි. වව්නියාව යනු මීට වසර දහස් ගණනකට පෙර වැව් කුඹුරුවලින් සශ්‍රීක බෞද්ධ සිද්ධස්ථානවලින් පිරී ගිය ප්‍රදේශයකි. සොලී ආක්‍රමණ හේතුවෙන් මෙහි පදිංචි ජනයා නිරිත දිග ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමත් සමග බෞද්ධ සිද්ධස්ථාන කැලෑවට යට විය. එසේ කැලෑවට යට වූ ස්ථාන අතර “ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේ” මුලින්ම තැන්පත් කර තිබූ මඩුකන්ද ශ්‍රී දළදා මන්දිරයද විය.
ඉංග්‍රීසි සමයේදී මෙම පුරාවිද්‍යා ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලදී. එසේ ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 37කි. නමුත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වීමත් සමග මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානය මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහාරය මාමඩුව පුරාණ විහාරස්ථානය ආදී ඓතිහාසික සිද්ධස්ථාන කීපයක් හැරෙන්නට ඉතිරිය නැවත කැලෑවට යට විය. යුද්ධය අවසන් වී වසර හතරක් ඉක්මවා ඇත. අද වන විට ද මේ ඓතිහාසික සිද්ධස්ථානවල තත්ත්වය තවත් ශෝචනීය තත්ත්වයකට පත්ව ඇත. ඒ සියල්ල පිළිබඳව සඳහන් කිරීම යනු ‍පොතක් ලිවිය තරම් වුවද සමාජ යහපත වෙනුවෙන් කෙටියෙන් කීපයක් පමණක් සඳහන් කරමි.
Purawasthu2තෝනිගල සෙල්ලිපිය යනු ලෝකයේ බැංකු ක්‍රමය පිළිබඳව ලියැවී ඇති පැරණිම ලිඛිත ලියැවිල්ලයි. කිත්සිරි මෙවන් රජ දවසේ (ක්‍රි:පූ:4-5) දේව ඇමැතිවරයා විසින් පිහිටුවන ලද නටබුන් හා සෙල්ලිපි කීපයක්ම ඇත. ධාන්‍ය බැංකුවක් හා එහි ‍පොලියෙන් පන්සලක් නඩත්තු කිරීම පිළිබඳ ලිඛිත තොරතුරු මෙහි සඳහන් වේ.
වව්නියාව ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයක පමණ දුරින් මෙය පිහිටියද මෙම ස්ථානයට යාම සඳහා මාර්ගයක් නැත.
ලුණුවැව (ලෝණක වැව) යන සිද්ධස්ථානය පිහිටියේ වව්නියාව මහමයිලන්කුලම ප්‍රදේශයෙහිය. මෙහි කටාරම් සහිත ලෙන් කීපයක්, ගල් ඇඳක්, ගරා වැටුන ෙචෙත්‍යයක් හා පධාන
ඝරයක නටබුන්  ඇත. මෙම ස්ථානය දැනට සති කීපයක සිට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බෝර දමමින් ප්‍රසිද්ධියේම හාරති. එම ස්ථානය බැලීමට ගිය ගම්වාසීහු පිරිසක් ආයුධ සන්නද්ධ දෙමළ ජාතිකයන්ගේ ග්‍රහණයට නතුවූ අතර පසුව එම ස්ථානයෙන් මිදී පිරිස පැමිණියෝය. පසුව ‍පොලීසිය එහි වැටලීම් කළද අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මේ ලිපිය ලියන මොහොත වනවිටත් නිදන් හොරුන් එහි කැණීම් කරති.
සමලන්කුලම පිහිටියේ වව්නියාව ආ¾ඩිකුලම් ප්‍රදේශයේය. කිරි වෙහෙරක් හා ගෙඩි ගෙයක් තිබූ මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1980 දශකයේ මෙහි වැඩබිමක් පිහිටුවා තහවුරු කළද පසුව මෙම ස්ථානයේ හින්දු දේවස්ථානයක් ඉදිකර ඇත.
ඕමන්ත ශ්‍රීපාද සලකුණ පිහිටියේ ඕමන්ත මහ විදුහල ඉදිරිපිටය. සටන් විරාම ගිවිසුම සමයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් එහි තිබූ බුදුපිළිමය කැලෑවකට වීසිකර දමා හින්දු දෙවොලක් ආරම්භ කරන ලදී. පසුව සටන් විරාම
නිරීක්ෂකයන්, එල්.ටී.ටී.ඊ. දේශපාලන සභිකයන් සහ හමුදා ප්‍රධානීන් එක්ව සාකච්ඡාවක්ද පැවැත්වූ අතර මේ වනවිට එම ස්ථානයේ පුරාණ ගල්කණු යටකර කෝවිලක් ඉදිකර ඇත. විමලසාර හිමියන් විසින් 2011 වසරේදී පැමිණිලි කළද මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇත.
මාමඩුව සුමේරියන් සොහොන යනු වසර දහස් ගණනකට පෙර පිහිටි මෙගලිතික් හෙවත් සුමේරියන් සොහොනකි. මෙහි තිබි පැරණි හිස් කබල් ආදිය Purawasthu3හමුවී ඇත. පාවක්කුලම මෙගෙලිතික් සොහොනද එවැන්නකි. වසර ලක්ෂ ගණනාවකට පෙර විසූ මානවයන්ගේ මිනිස් හිස් කබල් මෙහි තිබි හමුවී ඇත. වව්නියාව මරවන්කුලම කැලෑබද ප්‍රදේශය මීට වසර දහයකට පෙර ඩෝසර් කෙරුනේ යුද්ධයෙන් අවතැන්වූවන් හට ඉඩම් ලබාදීම සඳහාය. එහිදී කැලෑව මැද තිබි ෙචෙත්‍යයක් හමුවිය. එය ඩෝසර් කිරීමට උත්සාහ කළද ඩෝසරයේ කුල්ල දෙපාරක්ම කැඩුණි. අද ෙචෙත්‍ය මුදුණේ කෝවිලක් ඉදිකර ඇත. උලුක්කුලම ගල් පාලම, ඒරුපතාන, නීරුවිය, නවගම කිරි වෙහෙර, අලගල්ල කිරි වෙහෙර, තඹවෙල, ඇටඹගස්කඩ කිරිවෙහෙර ආදී ස්ථාන රැසක්ම මේ වන විට ඇත්තේ විනාශ මුඛයේය. යුද සමයේදී එල්.ටී.ටී.ඊ.යට බියේ එම ස්ථාන වෙත පිරිස් ගෙනයෑම නිසා වල්වැදී හෝ ආරක්ෂා වුවද කොටියාගේ විනාශයත් සමග මෙම සිද්ධස්ථානවලට ලැබි ඇත්තේ හෙනහුරාගේ කල දසාවයි. මේ වන විට එම ස්ථානවලට ඇතුළුවූ නිදන් හොරුන් නිදන් සොයා රිසි සේ කැණීම් කරති. මීට වසරකට පෙර කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සෙට්ටිකුලම ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ උලුක්කුලම ප්‍රදේශයේ පිහිටි පුරාණ ෙචෙත්‍යයක කැණීම් කරමින් සිටියදී අලුයම් කාලයේදීය. මෙහිදී මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් බවට සාක්ෂි ඉදිරිපත් කළ පුරාවිද්‍යා නිලධාරීහු පසුව සාක්ෂි දෙමින් කියා සිටියේ අදාළ වාර්තාව ටයිප් (යතුරු ලියනය) කිරීමේදී ප්‍රමාද
දෝෂයකින් එසේ සඳහන්වූ බවත් එම ස්ථානයට පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවත්ය. ඒ අනුව නිදන් හොරුන් ලෙස අත්අඩංගුවට පත් පිරිසට නිදහස ලැබුණි. ඔවුන්ට නිදහස ලබාදීම සඳහා පුරාවිද්‍යා නිලධාරීහු නොසෑහෙන මහන්සියක් ගත් බව පැවසේ. උතුරේ පුරාවිද්‍යා කටයුතු සිදුවන ආකාරය පිළිබඳ චෝදනා රැසකි. ඒ නිසා උතුරේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඓතිහාසික ස්ථාන රැකීමට පුරාවිද්‍යාවට වඩා ශක්තිමත් මැදිහත්වීමක් අවශ්‍ය වේ.
සනත් ප්‍රියන්ත
නිදන් සොයා පුරාවස්තු වැනසීමෙන් පලක් තිබේද?
පුරාවස්තුවලට වාණිජ වටිනාකමක් නෑ
පසුගිය දිනෙක මා කඩුගන්නාව මාවෙල ලෙන් විහාරයට ගිය විට එහි විහාර දොරටුව අසල සවිකර ඇති අපූරු දැන්වීම් පුවරුවක් නෙත ගැටුණි. එම දැන්වීම විහාරාධිපති හිමියන් සවිකර ඇත්තේ නිදන් හොරුන්ට කියවීමට වීම එහි විශේෂත්වයකි.
ලෙන තුළ ඇති දාගැබ සහ බුද්ධ ප්‍රතිමා කිහිපවරක්ම නිදන් හොරු කඩා බිඳ දමා ඇති බවද ඒවායේ යම්කිසි පුරාවස්තුවක් නිදන්කර තිබුණා නම් ඒවා Purawasthu5ඔවුන් රැගෙන ගොස් ඇති නිසා දැන් හොරුන්ට ගැනීමට කිසිවක් නැති බවත් එම දැන්වීමේ අදහස විය.
මාවෙල ලෙන් විහාරයට යන නිදන් හොරු මෙය කියවා ආපසු හැරී ගියත්, වෙනත් ඉපැරණි විහාරාරාමවලට නම් නිදන් හොරුන්ගෙන් ගැලවිල්ලක් නැති බව පුවත්පත් වාර්තාවලින් පැහැදිලි වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට 2013 වසරේ පළමු මාස පහ තුළ පුරාවස්තු වැනසීම් 122ක් වාර්තා වී තිබේ. එය මාසයකට දළ වශයෙන් වැනසීම් 25ක් පමණ වේ. පසුගිය වර්ෂයේ පුරාවස්තු අපරාධ 370ක් වාර්තා වී ඇත. එය වර්ෂ පහක් තුළ වැඩිම පුරාවිද්‍යා ස්මාරක හානි වාර්තා වූ වසර වශයෙන් වාර්තා තබයි.
වර්ෂ 2013 මුල් මාස පහ තුළ පළාත් වශයෙන් වාර්තා වූ නිදන් හෑරීමේ සිද්ධි
උතුරු පළාත 8
ඌව පළාත 47  
උතුරු මැද පළාත 82
වයඹ පළාත 82
බස්නාහිර පළාත 27
දකුණු පළාත 25
සබරගමුව පළාත 21
මධ්‍යම පළාත 56
නැගෙනහිර පළාත 36
ඉපැරණි විහාර පමණක් නොව නූතන විහාර පවා නිදන් හොරුන්ගේ අතවරයට ලක් වේ. පසුගියදා අප ගම් ප්‍රදේශයට යාබද මෑතකදී ඉදිකළ ඉන්දොලමුල්ල විහාරයේ දාගැබද කඩා හාරා දමා තිබුණි. එයට සැකපිට අත්අඩංගුවට පත්වූයේ විහාරවාසී හිමි නමකි. මේ අනුව පෙනෙන්නේ භික්ෂූන් වහන්සේද නිදන් හෑරීමේ රෝගයෙන් පෙළෙන බවයි.
පුරාවස්තු හොරකම් වැඩි ප්‍රමාණයක් වාර්තාවන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලිනි. ‍පොළොන්නරුවේ නයිපෙණ විහාරය හෑරීමත්, අම්පාර සාම දාගැබ ප්‍රසිද්ධියේ ඩෝසර් කිරීමත් නිදන් හෑරීමට ජනප්‍රිය නිදසුන් දෙකක් පමණි.
පුරාවස්තුවලට, ලොව සෑම රටකම ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අප රටේ පුරාවස්තු තොග පිටින් රට පැන්නුයේ යටත් විජිත යුගයේදීය. ඒ වන විට පුරාවස්තු ආඥා පනතක් නොවූ නිසා නීතිමය බාධාවක්ද නොවීය. ඒ විදේශිකයන් අතිනි. අපේ කුඩා දිවයින තුළ පැතිරුණු
Purawasthu4විශිෂ්ට පුරාවස්තු සම්භාරයට ලොබ බඳිනා ස්වදේශී නිදන් හොරුන්ගේ අරමුණ මුදල් ඉපයීම පමණි.
වර්ෂ 1815 මාර්තු 2 දිනට පෙර කාලයට අයත්වන සියලුම චංචල හා නිශ්චල දේපළ පුරාවස්තු ලෙස සැලකේ. මේ දිනය අපට වැදගත් වන්නේ උඩරට ගිවිසුම අත්සන් කර සිංහල රාජධානිය ඉංගිරිසියන්ට පවරා දුන් දවස වශයෙනි. පුරාවස්තු පනතේ එවැනි කාල රාමුවක් යොදා තිබුණද අවුරුදු 100කට වඩා පැරැණි ඕනෑම චංචල හෝ නිශ්චල දේපළක් පුරාවස්තුවක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය තිබේ.
නිවසක ගෙපළක් කපන විට, ළිඳක් හාරන විට වැනි අවස්ථාවලදී අහම්බෙන් පුරාවස්තු හමුවිය හැකිය. එවිට ඒ බව වහාම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය. එලෙස අහම්බෙන් හමුවූ විශිෂ්ට පුරාවස්තු වශයෙන් ගිරිදර බෝධිසත්ව ප්‍රතිමාව, වෙහෙරගල බුද්ධ ප්‍රතිමා, පනාකඩුව තඹ සන්නස දැක්විය හැකිය.
පුරාවස්තුවකට හානි පැමිණවීම බරපතළ වරදකි. තමන්ට උරුමයක් වශයෙන් ලැබෙන පුරාවස්තුවක් ළඟ තබාගැනීම වරදක් නොවේ. එහෙත් පුරාවස්තු රටින් පිටතට ගෙනයාම හෝ විදේශිකයන්ට අලෙවි කිරීම නීති විරෝධීය.
පුරාවස්තු සංහාරය ඉහළ යාමට බලපාන තවත් කරුණක් නම් ඒ සඳහා ලැබෙන දඬුවම් ප්‍රමාණවත් නොවීමයි. 1998 පුරාවස්තු (සංශෝධන) පනතට අනුව රු. 50,000 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 2 - 5 දක්වා සිරදඬුවමකට හෝ ඒ දඬුවම් දෙකටම හෝ යටත් කළ හැකිය. පුරාවස්තු පනත යටතේ චෝදනා ලැබූ චූදිතයන්ට ඇප ලබා නොදේ. එහෙත් දැන් මේ පනත යල්පැන ගිය එකක් බවට පත්ව ඇත.
නිදන් ඇතැයි යන තණ්හාවෙන් පුරාවස්තු වනසන හොරුන්ට ලැබෙන නිධානයක් නැත. එහෙත් මේ මිථ්‍යාව සමාජයෙන් තුරන් කිරීම ‍ලේසි නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි පුරාවස්තු විනාශ කිරීමට බලපාන හේතු කිහිපයක් මෙසේය.
1. පැරණි සෙල්ලිපි හා සංකේත සහිත ස්ථානවල නිදන් තිබේය යන වැරදි අදහස.
2. ගලින් කළ ප්‍රතිමාවල නිදන් වස්තුද තැන්පත් කර තිබෙන බවට ඇති අදහස.
3. මැටි බුද්ධ ප්‍රතිමාවල හිස, දෙනෙත්, උදරය, පාද සහ පතු‍ලේ වටිනා පුරාවස්තු තිබෙන බවට වැරදි මිත්‍යාවක් පැතිර තිබිම.
උදා: කුරුණෑගල නිකවැව බුද්ධ ප්‍රතිමාව, ඔක්කම්පිටිය හබැස්ස පිළිමය ඇතුළු ප්‍රතිමා රැසක් මේ අදහසින් වනසා දමා ඇත.
4. දාගැබ් තුළ වටිනා දේ තැන්පත් කර තිබේය යන වැරදි අදහස.
5. කිසිම සත්‍යතාවයක් නැති ‘නිදන් වදුල’ නම් වූ පැරණි පුස්කොළ ‍පොත්වල අඩංගු විස්තර කෙරෙහි විශ්වාසය තබා ඉක්මනින් ‍පොහොසත්වීමට ක්‍රියා කිරීම.
6. පුරාවස්තුවලට අධික වාණිජ වටිනාකමක් තිබේය යන විශ්වාසය.
7. පුරාවස්තු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන වැරදි ප්‍රතිචාර.
8. අනවශ්‍ය ලෙස ආගමික භක්තිය මතු කිරීමට ඉපැරණි ස්මාරක වෙනස් කිරීම.
පුරාවස්තුවලට ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි යන මතය, ජනතාව තුළ මුල් බැසගෙන ඇති මිත්‍යා විශ්වාස නිසා ඇති වූවකි. නිදන් හාරා විකුණා ‍පොහොසත් වූ කෙනෙක් මේ රටේ නම් නැත. අන්තිමට පුරාවස්තු හොරුන්ට වන්නේ සුප්‍රකට කෞතුකාගාර සොරකම කළ කන්ගැට්ටාට වූ දේමයි. ඔහුටත් සිදුවූයේ කටුගෙයින් සොරකම් කළ කඩු කෑලිවලට ගලවා කුණු බක්කිවලට දැමීමටය.
පුරාවස්තු පිළිබඳ අනවබෝධය කොපමණද යන්නට හොඳම උදාහරණයක් නම් මධ්‍ය ශිලා සංස්කෘතියට අයත් පදවිගම්‍පොල ගල්මැස්ස අසල නිදන් හෑරීමයි.
ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා රන්රිදී, මුතු මැණික් භාවිත නොකළ බව නිදන් හොරු නොදැන සිටීම නිසා සිදුවූවකි.
තවත් වැරදි අදහසක් නම් රන් ආ‍ලේපිත ලෝකඩ ප්‍රතිමා, දඹ රන් පිළිම බවට ඇති අදහසයි. භික්ෂූන් වහන්සේලාද මේ වැරදි මත පැතිරවීමට සහය වෙති. කොත්ම‍ලේ පුසුල්පිටිය ලෝකඩ බුද්ධ ප්‍රතිමාව හොරකම් කළේද දඹ රන් ගැන සිහින මැවූ නිදන් හොරෙකි. කටාරංගල බුදු පිළිමයට අත්වූයේද එම ඉරණමය. නිදන් සොයා ක්ෂණික ධනවතුන් වීමට සිහින මවනවාට වඩා වෙනත් ස්වයං රැකියාවක් කර දියුණුවීමට උත්සාහ ගන්නේ නම් වඩාත් වැඩදායක බව නිදන් හොරු අවබෝධ කරගත යුතුය.

කුසුම්සිරි විජයවර්ධන

No comments:

Post a Comment