Monday 17 June 2013

එජාපය 20ක් නෙරපයි

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පහරදීම පදනම් කරගනිමින් පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගෙත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 08 දෙනෙකු සහ පක්ෂ ක්‍රියාකාරීන් දස දෙනෙක් පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17) තීරණය කළේය. පක්ෂයෙන් නෙරපා හරින ලද විසි දෙනාට සිරිකොත මූලස්ථානයට පහරදීමට අමතරව හයිඩ් පිටියේ පැවැති රැලියට පක්ෂ නියෝගය නොතකා සහභාගිවීම යන චෝදනාවද එල්ල වී තිබිණි. පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධියට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කමිටු නිර්දේශය අනුව එක්සත් ජාතික පක්ෂය ඉහත තීරණය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්විණ. පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් කරන ලෙස හිටපු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. පක්ෂ මූලස්ථානයට පහරදුන් අය සම්බන්ධයෙන් විමසා බැලීම කළයුතු හැම ආකාරයකටම කොට අවසන් බැවින් ඒ ගැන කිසිදු ආකාරයකින් යළි සලකා බැලීමක් කළ නොහැකි බවද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි ලෙස අවධාරණය කෙරී ඇත. එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසට එරෙහිව විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා මහතා අදහස් දැක්වීම හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් ස්වරූපයක් ගත් බව එක්සත් ජාතික පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු කීවේය. කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව ඉහත පුද්ගලයන් විසි දෙනාගේම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි වන බවත් ඔවුන්ට මින් ඉදිරියට පක්ෂය වෙනුවෙන් පෙනී සිටිමේ හැකියාවක් නොමැති බවත් එ.ජා.ප මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. පක්ෂයෙන් නෙරපනු ලැබූ ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනටමත් රජයට එක්ව සිටින අය බවද මහ ‍ලේකම්වරයා කීවේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ‍ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මානව හිමිකම් පිළිබඳ සහකාර ‍ලේකම්ධුරය ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පත් කර ඇත. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බල ගැන්වීමට රජය ස්ථිර වශයෙන්ම ක්‍රියා කළ යුතු බව කෘත්‍යාධිකාරී මණ්ඩලය යළිත් තහවුරු කර ඇත.  පුරප්පාඩුව පැවැති ආසන කිහිපයක් සඳහා නව සංවිධායකවරුන් පත් කිරීමද ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වූ අතර දුර්වල අය ලෙස හඳුනා ගනිමින් බි. ශ්‍රේණියට පහළ දැමූ ආසන සංවිධායකවරුන්ට ප්‍රගතිය පෙන්වා යළිත් තනතුරු සඳහා අයදුම් කිරීමට ඉඩදීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

No comments:

Post a Comment