Tuesday 18 June 2013

දෙවියෝ පස්සෙ ගිහින් සමාජ ආර්ථික ප‍්‍රශ්න විසදන්න බැහැ - අනුර


"දැන් රටේ තියෙන්නේ සමාජ ආර්ථික අර්බුදයක්. සමාජ ආර්ථික අර්බුද ආවම, ඒවාට උත්තර හොයන්නේ නැතිව මිනිස්සු කරන්නේ දේවාල පස්සේ යන එක. දෙවියෝ පස්සේ යනවා. ගමේ කොල්ලට රස්සාවක් නැහැ. කර්මාන්ත ශාල වහලා. රස්සා නැහැ. ඉතින් සෙනසුරා බලපාලා කියලා තොවිලයක් කරනවා. ඇත්ත ප‍්‍රශ්ණය රටෙ රස්සා නැතිකම. එකෙන් වෙන්නේ මුලු සමාජයම විද්‍යාවෙන් අවිද්‍යාවට යනවා. ඒවාට සමාජ ආර්ථික ප‍්‍රශ්න විසදන්න බැහැ. ඒකට සමාජ ආර්ථික දේහසේ වෙනසක් වෙන්න ඕනා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පසුගිය 16වනදා කුරුණෑගල අලව්ව නගරයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිණි.
එහිදී තවදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.
"ලංකාව දැන් කිසි දෙයක් හදන්නේ නැති රටක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවට අවශ්‍ය සීනි ප‍්‍රමාණයෙන් 85%ක් ගෙන්නේ පිට රටින්. ලංකාවට අවශ්‍ය කිරි පිටි වලින් 90%ක් ගෙන්නේ පිට රටින්. පෑන් පවා ගෙන්නේ පිට රටින්. නිෂ්පාදනයක් නැති කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ. ආණ්ඩුව කියනවා නිෂ්පාදනයක් නැති වුණාට අපි වරාය හදලා තියෙනවානේ. දැන් බලන්න හම්බන්තොට වරාය. වරායක් හදපුවාම ඒක ආර්ථිකයට සම්බන්ධයක් තියෙනන ඕනා. නමුත් හම්බන්තොට වරාය එහෙමද? අපි පාර්ලිමේන්තුවේදි වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගෙන් ඇහැව්වා මේ වෙනකොට වරායට නැව් කීයක් ඇවිත් තියෙනවද කියලා. වරාය හදලා මාස 36ටම නැව් ඇවිත් තියෙන්නේ 28යි. මාසෙකට එක නැවක්වත් ඇවිත් නෑ වගේ. එක නැවක බඩු බාන්න යන්නේ පැය 4යි. වරාය වැඩ කරන්නේ මාසේටම පැය 4යි. ඉතින් රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද? දැන් හම්බන්තොට වරායේ මාලු බානවා. බෝඞ් එකකුත් තියෙනවා මාලු බෑම තහනම් කියලා. පිහිනීම තහනම් කියලා බෝඩ් එකකත් තියෙනවලු. ඕන්න සංවර්ධනය. වරායෙන් රටට ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභයක් නැහැ කීවාම කියනවා, අපි ගුවන් තොටුපල හැදුවලු. වටේට අලි වැටක් ගහපු ලෝකේ එකම ගුවන් තොටුපල. ගුවන් තොටුපල හැදුවේ යාල වනෝද්‍යානේ කිට්ටුව. මේ කාලේ ලංකාවට සංචාරක කුරුල්ලෝ එන කාලේ. දැන් වායු තුවක්කු දිලා කොල්ලන්ව තියලා තියෙනවා කුරුල්ලන්ව එලවන්න. ගුවන් තොටුපළට මගීන් කියක් ආවද කියලා අහපුවාම ඒවාට හරියට උත්තර දෙන්නෙත් නැහැ. එක දවසක් එක්කෙනක් නැගල තියෙනවා. කවුරුවත් බැහැල නැහැ. ඊළග දවසේ එක්කෙනයි නැගලා තියෙන්නේ. සේවකයෝ 300ක් ඉන්නවා. කෝටි 30ක් වියදම් කරලා ගුවන් තොටුපල හැදුවේ. අඩුම තරමේ තෙල් ගබඩාවක් නැහැ. මේ ළගදි කටුනායකින් ගිය ගුවන් යානයකට තෙල් නැතිව ගියා. කටුනායකින් තෙල් බව්සර් අරන් යනවා එහාට. තෙල් අරන් ගිය බව්සර් එකක හුලං ගහන් ගාල්ලේ නතර වෙලා. තෙල් ගහන්න පැය එකහමාරක් ඉන්න  ඕනා. එහෙම ගුවන් යානා එනවද? තෙල් ඇමතිගෙන් අහපුවම කියනවා වරායෙන් අරන් තෙල් ගහනවලු. අපි අහනවා නැව් වලට ගහන තෙල් ද ගුවන් යානා වලට ගහන්නේ කියලා.
අධිවේගී පාර හැදුවා. ඒක රටේ ආර්ථිකයට දායක වෙන්න  ඕනා. මිනිස්සු පාරේ යන්න  ඕනා. ඒකෙන් භාණ්ඩ ප‍්‍රවාහණය කරන්න ඕනා. ලංකාවේ අධිවේගී මාර්ගවල ආදායම වැඩි වෙන්නේ මිනිස්සුන්ට නිවාඩු දවස්වල. ලංකාවේ ප‍්‍රවාහණය පිළිබද ඉන්න මහාචාර්යතුමා අමල් කුමාරගේ මහත්තයා. මොරටුව විශ්ව විද්‍යාලයේ. එතුමා ජාතික ප‍්‍රවාහන කොමිසමේ හිටිය සභාපති. පහුගිය අවුරුද්දේ අධිවේගී මාර්ග පිළිබද සමික්ෂණයක් කලා. 2012 අවුරුද්දේ අධිවේගී මාර්ග ලංකාවේ ආර්ථිකයට දායක වෙලා තියෙන්නේ කොහොමද කියලා සමික්ෂණයක් කළා. අධිවේගී මාර්ගය ලංකාවේ ආර්ථිකයට දායක වෙලා තියෙන්නේ රුපියල් කෝටි 100න්. එතුමා කියනවා නඩත්තු වියදම් සහ අරන් තියෙන ණය පොලී ගෙවීම් කෝටි 650ක් කියලා. අධිවේගී මාර්ගයෙන් අවුරද්දකට කෝටි 550ක් පාඩුයි. ඉතින් රටක් සංවර්ධනය වෙයිද?
සංවර්ධන ව්‍යාපෘති වෙනුවට ආණ්ඩුව දැන් කරන්නේ සංදර්ශණ ව්‍යපෘති. දැන් රාජ්‍ය ආයතන අරන් බලන්නකෝ. එයාර් ලංකා එකේ, එමිරේට්ස් සමාගමට කොටස් වික්කා. කොටස් වලට කෝටි 500ක් දුන්නා. ජනාධිපතිතුමා කිව්වා අපිට ජාතික ගුවන් සේවයක්  ඕනා කියලා. ලංකාවේ ආණ්ඩුවට ඒයාර් ලංකා එක පවරා ගත්තා. අරගෙන මහින්ද මහත්තයගේ නොනගේ අයියා නිශාන්ත වික‍්‍රමසිංහ එයාර් ලංකා එකේ සභාපති කළා. නිශාන්ත වික‍්‍රමසිංහගේ අධ්‍යපන සුදුසුකම් මොනවද? අපි පාර්ලිමේන්තුවේ පි‍්‍රයංකර ජයරත්න ඇමතිතුමාගෙන් මේ ඇහැව්වා. එතුමා උත්තර දුන්නේ සා.පෙ,කියලා විතරයි. අපි ඇහැව්වා මොනවද සමත් කියලා. නිශාන්ත වික‍්‍රමසිංහ සාමන්‍ය පෙළ සමත් නැහැ. ඒයාර් ලංකා එකේ සිකියුරටි මහත්තයගේ අධ්‍යාපන සුදුසුකම් ඒලෙවල් වැඩ තුනක් සමත්. සභාපතියට සාමන්‍ය පෙළත් නැහැ. එයාර් ලංකා එකේ 2011 අවුරුද්දේ පාඩුව කීයද? කෝටි 1,900යි. මේ අවුරුදු දෙකට කෝටි 3,950ක් පාඩු ලබනවා. දැන් ගන්න යනවා ගුවන් යානා කෝටි 31,500ක. දැන් සාමන්‍ය ගනුදෙනුවලදි ගනන් ලියන්නේ ඉලක්කම් වලින්. නිශානත වික‍්‍රමසිංහට ඉලක්කමෙන් ගනුදෙනු ලියන්න බැහැ.
තෙල් සංස්ථාවේ පාඩුව ගිය අවරුද්දේ කෝටි 10,000යි. අධිවේගී මාර්ගෙට කොටි 9,000යි. දැන් භාවිතා කරන තෙල් පිරිපහදුව අපිට හම්බුනේ සෝවියට් දේශයෙන්. මීට අවුරුදු 45කට කලින්. ඒකේ තාක්ෂණය යල් පැනලා. අලුතින් වෙන මොනවත් හැදුවේ නැහැ. දැන් තෙල් පිරිපහදුවට බොරතල් දාපුවම එන්නේ පෙට‍්‍රල් නෙමේ. වෙන මොනවද වගයක්. මේවා හදන්නේ නැහැ. අලුතෙන් තෙල් පිරිපහදුවක් හැදුවේ නැහැ. හෙට (17) ඉදන් වහන්න වෙලා තියෙන්නේ. තෙල් පිරිපහදුවක් හැදුවනම් තෙල් අඩු මිලට දෙන්න තිබ්බා. හොරකම් කරනවා. වංචා කරනවා. ඉතින් රටක් සංවර්ධනය වෙයිද?
මේ ළගදී මුලු කොළඹ නගරෙම රාත්‍රී 07.00ට වහලා නාමල් කොලුවා රේස් පැද්දා. ඕගොල්ලෝ කොහෙවත් අහල තියෙනවද රටේ ප‍්‍රධාන අගනගරය වහලා කාර් රේස් පදිනවා. ලෝකේ කොහෙවත් නැහැ. ඉන්දියාවේ දිල්ලි වහලා, එංගලන්තේ ලන්ඩන් වහලා කාර් රේස් තියෙනවද? නැහැනේ. මුලු කොළඹ නගරේම දවල් වගේ ලයිට් දාලා කාර් රේස් තිබ්බා. කාර් රේස් එකට වැලි කොට්ට විතරක් ලක්ෂ එකහමාරක් ගැහැව්වා. එක වැලි කොට්ටයකට වියදම රු. 450ක්. වැලි කොට්ට සදහා වියදම විතරක් ලක්ෂ 705ක්. කාර් රේස් දළදා මාලිගාව ඉස්සරහ තියන්න ගිය වේලාවේ අස්ගිරි මහා නායක හාමුදුරුවෝ විරුද්ධ වුනා.
මේ ළගදී ආණ්ඩුව විදුලි බිල වැඩි කළා. මොකක්ද හේතුව? රුපියල කඩා වැටීම සහ පුද්ගලික සමාගම් එක්ක ගහපු ගිවිසුම්. මේ වෙනකොට ලක්ෂපාන බලාගාරේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන්නේ ශත 35යි .මහින්ද මහත්තයා හැදුවා කෙරවළපිටිය විදුලි බලාගාරේ. එකේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යනවා රු. 27ක්. හැබැයි ආණ්ඩුවේ විදුලි බලාගාර වල විදුලිය මදි. පුත්තලම, ඇඹිලිපිටිය පැත්තේ තියෙනවා හැරි ජයවර්ධනට අයිති විදුලි බලාගාර කීපයක්. ඒවා වලින් තමා ආණ්ඩුව විදුලි අර ගත්තේ. නමුත් ඒ බලාගාර වලින් විදුලි එකකයක්වත් ගත්තේ නැතත් මුදල් ගෙවන්න ඕනා. ගත්තත් දෙනවා. නොගත්තත් දෙනවා. ගන්න ගානට වෙනම දෙන්න  ඕනා. විදුලිය ගත්තත් නොගත්තත් කෝටි එක්දහස් එකසියයක් ගෙවන්න ඕනා අවුරුද්දකට.
දැන් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය දෙන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටක අයවැය පරතරය පියව ගන්න ණය දෙන්නේ නැහැ. මේ ළගදී ජනාධිපති චීනේට ගියා ණය ඉල්ල ගන්න. චීනේට ගිය වේලාවේ කවුද හම්බුනේ? චීනේ එක්සිම් බැංකුවේ සභාපති හම්බුනා. පිට රටක නායකයෙක් ඇවිත් ලංකා බැංකුවේ සභාපති හම්බුනොත් මොනද වෙන්නේ? ඒ නායකයටත් ඒක හොද නැහැ. චීන රජය ආණ්ඩුවට ණය දෙන්නෙ නැහැ. ජනාධිපති ණය ගන්න එකග වුනේ චින රජය එක්ක නෙමෙයි. එක්සිම් බැංකුව එක්ක. බැංකු තියෙන්නේ ණය දෙන්න. ලංකවේ ජනාධිපති ඇවිත් කියපු නිසා ටිකක් වැඩියෙන් ණය දෙන්න පොරුන්දු වුණා.
ආණ්ඩුවේ තියෙන වියදම් ඛාණ්ඩ තුනකට දෙන්න පුලුවන්. එකක් තමා වැටුප් හා වේතන. අනික් එක ණය පොලී වාරික. අවසාන එක සේවා සහ සහනාධාර.
ඉතින් මේ වියදම් ප‍්‍රමාණය අඩු කළොත් ණය දෙන්න පුලුවන් කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කීවා. අනිවාරයෙන් වැටුප් හා වේතන ගෙවන්න ඕනා. ණය පෙලී වාරිකත් ගෙවන්න ඕනා. එහෙනම් කපන්න තියෙන්නේ සහනාධාර හා සේවා තමයි. ඉතින් ආණ්ඩුව අධ්‍යාපනයට වෙන් කරන මුදල අඩු කළා. පොහොර සහනාධාරය කැපුවා. විවාහ උප්පැන්න ලියාපදිංචි ගාස්තුවැඩි කළා.
ඕනෑම රටක ආර්ථීකය කඩා වැටුනාම සමාජයක් පවතින්නේ නැහැ. විනිසුරු පගා ගන්නවා. DIG මීනි මරනවා. මොන රටක්ද මේක? දැන් රටේ තියෙන්නේ සමාජ ආර්ථික අර්බුදයක්. සමාජ ආර්ථික අර්බුද ආවම, ඒවාට උත්තර හොයන්නේ නැතිව මිනිස්සු කරන්නේ දේවාල පස්සේ යන එක. දෙවියෝ පස්සේ යනවා. ගමේ කොල්ලට රස්සාවක් නැහැ. කර්මාන්ත ශාල වහලා. රස්සා නැහැ. ඉතින් සෙනසුරා බලපාලා කියලා තොවිලයක් කරනවා. ඇත්ත ප‍්‍රශ්ණය රටෙ රස්සා නැතිකම. එකෙන් වෙන්නේ මුලු සමාජයම විද්‍යාවෙන් අවිද්‍යාවට යනවා. ඒවාට සමාජ ආර්ථික ප‍්‍රශ්න විසදන්න බැහැ. ඒකට සමාජ ආර්ථික දේහසේ වෙනසක් වෙන්න  ඕනා.
ඉතින් ඒ සදහා මේ සමාජයේ ඉන්න වැඩ කරන ජනතාව එකතු වෙන්න  ඕනා. නිෂ්පාදන ආරථිකයක් රටේ හදන්න ඕනා. ජනතාව අතරේ මේ නිෂ්පාදනය සාධාරණව බෙදන්න  ඕනා. ඒ වැඩපිළිවෙලට කියන්නේ සමාජවාදය කියලා. ඉතින් වැඩ කරන පන්තියේ ජනතාව විදිහට අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න, අපේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යහපත් රටක් හදන්න කවුරුත් එකතු වෙන්න ඕනා. ඒ සදහා අපි සියළු දෙනාට ඒකරාශි වෙමු."
මේ අවස්ථාව සදහා කොළඹ විශ්වවිද්‍යලයේ සෞන්දර්යය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දයානන්ද මහතාද, අලව්ව හිටපු ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර අශෝක ගුණසේන මහතාද එක්වී සිටියහ.
මෙදිනම අනුර දිසානායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර ගණනාවකදීම මෙවැනි ජනහමු පැවැත්විණි.
අලව්ව නගරයේදී
කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේදී

No comments:

Post a Comment