Monday 17 June 2013

මිද්දෙණිය මුරුංගස්‌සයාය හන්දියේ ඝාතනයට හිටපු පළාත් සභා සන්ධාන මන්ත්‍රීගේ පුතුන් දෙදෙනා ගිනි අවියද සමග දැලේ

ඉකුත් 13 වැනිදා මිද්දෙණිය මුරුංගස්‌සයාය හන්දියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව සැක කෙරෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඒ. කේ. සිරිසේන මහතාගේ පුතුන් දෙදෙනකු වෙඩි තැබීමට යොදා ගන්නා ලද ගිනි අවියද සමග මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොදුජන එක්‌සත් පෙරමුණේ එජනිස හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඒ. කේ. සිරිසේන මහතාගේ පුතුන් වන ඒ.කේ. මහින්ද සහ ඒ.කේ. චමින්ද නමැති දෙදෙනායි. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ඊයේ (17 දා) වලස්‌මුල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වෙඩි තැබීමට යොදා ගන්නා ලද බෝර 12 වර්ගයේ ගිනි අවිය නවීකරණය කර සාදා තිබූ බව පොලිසිය පවසයි.

පසුගිය 13 වැනිදා වෙඩි තැබීමෙන් මරණයට පත්වූයේ අඟුණකොළපැලැස්‌ස, බිංකම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සුජිත් ප්‍රියන්ත නෙත්තසිංහ රත්නායක නමැති තිස්‌දෙහැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධව එක්‌ සැකකරුවකු බස්‌ රථයක ගමන් කරන අතරතුර උපක්‍රමශීලීව මියගිය සුජිත් ප්‍රියන්තගේ බාල සොයුරුගේ බිරිඳගෙන් දුරකථනයේ අංකය ලබාගෙන ඇත. තමාගේ දුරකථනය ක්‍රියාවිරහිත වී ඇති බවත් තමාට හදිසි දුරකථන ඇමැතුමක්‌ ලබාදීමට තිබෙන බවත් පවසමින් ඇයගේ දුරකථනය ලබාගෙන ඇති සැකකරු එම දුරකථනය මගින් තම දුරකථනයට ඇමැතුමක්‌ ලබාගෙන තිබේ. පසුව ඇය නිවසට ගිය විට සැකකරු දිගින් දිගටම දුරකථන ඇමැතුම් ලබාදී ඇති අතර පසුව ඇය මේ බව තම සැමියාට පවසා තිබේ. දුරකථන ඇමැතුම් ලබාදෙමින් තමන්ට කරදර නොකරන ලෙස ඔහු විසින් සැකකරුට දුරකථනය මගින් පවසා ඇතත් ඊට අවතන නොවූ සැකකරු දැඩි ප්‍රතිචාර දක්‌වමින් පවසා ඇත්තේ මිද්දෙණිය මුරුංගස්‌සයාය හන්දියට පැමිණෙන ලෙසයි. ප්‍රශ්නය සමතයට පත්කර ගැනීමට සුජිත් ප්‍රියන්ත ඇතුළු තවත් කිහිප දෙනකු මෝටර් රථයක නැගී ඉකුත් 13 වැනි දින මිද්දෙණිය මුරුංගස්‌සයාය හන්දියට පැමිණ ඇත. දෙපිරිස මුණ ගැසීමෙන් පසුව ඇතිවූ වචන හුවමාරුවේදී සැකකරුවන් විසින් සුජිත් ප්‍රියන්තගේ හිසට වෙඩි තබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස්‌ ඇත.

මියගිය සුජිත් ප්‍රියන්තගේ අවසන් කටයුතු පෙරේදා (16 වැනිදා) සිදු කෙරිණි. ඔහුගේ දේහය මිහිදන් කර පැය කිහිපයක්‌ ගතවීමටත් පෙර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් ගිනි අවිද සමග අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසිය සමත් වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගය මත හම්බන්තොට -මාතර දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌ අධිකාරි මැකාති පෙරේරා මහතාගේ අධීක්‌ෂණයෙන් තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතාගේ උපදෙස්‌ මත මිද්දෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති එම්. ජී. සංජීව මහතාගේ මග පෙන්වීමෙන් සිදු විය. උ.පො.ප. ජයවීර , උ.පො.ප. ජෝතිරත්න, පො.කො. දයාරතන් (15321), ධර්මසිරි (15315), විමලජීව (6055), සංජය (40770), කස්‌තුරි (84982), ජයතිලක (27930) ලාල් (37098) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

 මිද්දෙණිය - කෝංගල ලියනගේ

 
Powered By -

සීමාසහිත උපාලි පුව

No comments:

Post a Comment