Wednesday 12 June 2013

විවෘත සංවාදයකට එන්න....අනුර කුමාර දිසානායක එස්. බී. දිසානායකට අභියෝග කරයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තමා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ කරුණු සියයට සියයක් සත්‍ය බව රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගැනීමට කටයුතු කරන සියලු දෙනා අනුමත කරන බවට පවසන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා, ඒ පිළිබඳ කතා කිරීමට විවෘත සංවාදයකට පැමිණෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට අභියෝග කරයි.
උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කාර්යභාරය විය යුත්තේ අධ්‍යාපන අර්බුද පෙන්වා දෙන දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංගම් හෝ පුද්ගලයන්ට අවලාද නැඟීම නොව, රටේ අනාගතය ගොඩනැඟීමට සමත් විද්‍යාර්ථයන් බිහිකිරීමේ
වැඩපිළිවෙළකට අවධානය යොමු කිරීම යැයිද හෙතෙම අවධාරණය කරයි.

 උසස් අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා 'මව්බිම' පුවත්පතට ලබාදුන් ප්‍රකාශයකට අදාළ පිළිතුරු ප්‍රකාශයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අනුර දිසානායක මහතා උසස් අධ්‍යාපනය පිළිබඳ ලබාදෙන තොරතුරු හිස් බවින්, සංඛ්‍යාලේඛන වාර්තා නොදැනුවත්කමින් හා නොදන්නාකමින් ලබාදෙන බවට චෝදනා කොට නිකුත් කළ මාධ්‍ය නිවේදනයට පිළිතුරු නිවේදනයක් නිකුත් කරමින් එම අභියෝගය කරයි.

 එම නිවේදනයේ මෙසේද දැක්වේ

මවිසින් උසස් අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජුනි 5 දා 'මව්බිම' පුවත්පතට සඳහන් කළ ප්‍රකාශයක් දැක කලබල වී ඇති එස්.බී. දිසානායක ඇමැතිවරයා එයට පිළිතුරු සැපයීම වෙනුවට සුපුරුදු වාගාලාප හා අවලාද දමා ගසා තිබේ. තමන්ගේ කට හසුරුවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරදට වැරැදිකරුවකු වී බරපතළ සිරදඬුවම් ලබා සිටියදී ජනාධිපති විශේෂ සමාවක් යටතේ නිදහස ලබා උසස් අධ්‍යාපන ඇමැති ධුරය හොබවන එතුමා අතින් ඊට වැඩි යමක් මම කිසිසේත් අපේක්ෂා නොකරමි. කට නිසා සිරගතවූවකුගේ කට වචන එතරම් බරපතළ ලෙස තැකිය යුතු නැත.

 බලයට පත්වන ඒ ඒ ආණ්ඩු අධ්‍යාපනයට දක්වන සැලකිල්ල පිළිබිඹු කරන එක් නිර්ණායකයක් නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් ඒ සඳහා වෙන්කරන ප්‍රතිශතයයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1996 සිට එකඟ වූ යුනෙස්කෝ සම්මුතිය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ බවයි. එම ප්‍රතිශතය සලකා බලනුයේ රටේ පාසල් හා උසස් අධ්‍යාපනයට එම අමාත්‍යංශ හරහා වෙන් කරන මුදල ගණනය කිරීමෙනි.


නිදසුනක් ලෙස 2013 අය-වැය ලේඛනයේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා මධ්‍යම රජය රුපියල් බිලියන 37.9ක්ද පළාත් සභා රුපියල් බිලියන 65.2ක්ද ලෙස සමස්ත පාසල් අධ්‍යාපනයට රුපියල් බිලියන 103.1ක් වෙන් කිරීමට අපේක්ෂා කෙළේය. උසස් අධ්‍යාපන වියදම් ලෙස එහි දක්වා ඇත්තේ රුපියල් බිලියන 27.9කි. 2012 වසරේ දළ දේශීය නිෂ්පාදිතය හා ආණ්ඩුව පවසන ආර්ථික වර්ධන වේගය අනුව 2013දී අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ හැකිය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන් කරන රුපියල් බිලියන 131 අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%කි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් 1950දී 2.5%ක්ද 1960දී 4.7%ක්ද 1972දී 5.2%ද වෙන් කළා යැයි දක්වන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය. එම සත්‍යය පිළිගන්නවා වෙනුවට තවත් අමාත්‍යංශ ගණනාවක පුහුණු පාඨමාලා 'අධ්‍යාපන වියදම්' ලෙස හුවා දක්වමින් ඇමැතිවරයා සිදුකරන්නේ ජනතාව රැවැටීමකි. එම ලේඛනය සඳහා ඔහුටද බන්ධනාගාරයේදී හිමිවූ මැහුම් ගෙතුම්, ලෝහ වැඩ, ලී වැඩ ආදී පාඨමාලාවල වියදම්ද ඇතුළත් නොකෙළේ මන්දැයි අසා දැනගත යුතුය. එසේම ගොවීන්ට වගා පුහුණුවට ලබාදෙන කෘෂි උපදේශන පාඨමාලාද, සත්ත්ව පාලනය සඳහා පශු සම්පත් අමාත්‍යංශයෙන් ලබාදෙන පාඨමාලාද අධ්‍යාපනයේ වියදම් ලෙස දැක්වීමට ඔහුට අමතක වූවාදැයි විමසා බැලිය යුතුය.
මේ ආකාරයේම රැවටිල්ලක් පසුගිය අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයාද සිදුකරන ලදී. පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බාහිර පන්ති ගාස්තු, ප්‍රවාහන වියදම්, පොත්පත් සඳහා යන වියදම් ආදී අධ්‍යාපනය සඳහා වන පෞද්ගලික වියදම් ලෙස රුපියල් බිලියන 147ක ඇස්තමේන්තුවක් ඔහු ඉදිරිපත් කෙළේය. එම ලේඛනයට අනුව රටේ පළාත් පාසල් 9300ක පළාත් සභා මඟින් වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මවුපියන් ටියුෂන් පන්ති සඳහා වියදම් කරන බවට ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත. මෙසේ ආණ්ඩුව කරන වියදම් හා මවුපියන් පෞද්ගලිකව කරන වියදම් සියල්ල එකතු කොට අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1%ක් වෙන් කරන්නේ යැයි ජනාධිපතිවරයාද විළිලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. එස්.බී. දිසානායක සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ එම ලැජ්ජා නැතිකම ඉදිරියට ගෙන යෑමක් විනා අන් යමක් නොවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 70 බැගින් විකුණන බවට මවිසින් කළ ප්‍රකාශය බැහැර කරනු වෙනුවට එය මාගේ නොදන්නාකමක් ලෙස දක්වා මඟ හැර යෑමට ඇමැතිවරයා කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් 2013 අප්‍රේල් 23 දාතමින් සහ එහි අතිරේක ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන අයගේ අස්සනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා වෙත යවා ඇති ලිපියේ එක් එක් පාඨමාලා විකිණිය යුතු ගාස්තු පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව වෛද්‍ය උපාධියට වාර්ෂික ගාස්තුව ඩොලර් 12,000කි. හෙද උපාධියක් ඩොලර් 10,000ක්ද, ඉන්ජිනේරු උපාධියක් ඩොලර් 8,000ක්ද, නීති උපාධියක් ඩොලර් 5,000ක්ද කළමනාකරණ උපාධියක් ඩොලර් 4,000ක්ද කලා උපාධියක් ඩොලර් 3,000ක්ද ලෙස මිල නියම කර ඇත්තේ එස්.බී. දිසානායක ඇමැතිවරයා යටතේම ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි. වෛද්‍ය උපාධියක් ලබාගැනීමට වසර 05ක් ගතවන බවත් ඩොලර් 12,000 පහෙන් වැඩි කළ විට ලැබෙන අගය ඩොලර් 60,000ක් බවත් එය දළ වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 70-75 පමණ වන බවත් ඕනෑම අයකුට වැටහේ. මේ ගණනය කිරීම සිදුකිරීමට ඇමැතිවරයාට නොහැකි වීම ගැන මම පුදුම නොවෙයි. 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය ගණනය කිරීමේදී අංක ගණිතය වෙනුවට වීජ ගණිතය භාවිත කළා යැයි ප්‍රකාශ කොට රටම හිනැස්සුවේ මේ උසස් අධ්‍යාපන ඇමැතිවරයාය.
පේරාදෙණිය වෛද්‍ය පීඨයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් යොමු කළ සිසුන් දසදෙනා බඳවා ගැනීම එහි පීඨ මණ්ඩලය ප්‍රතික්ෂේප කෙළේය. ඇමැතිවරයා කියන පරිදි එය පණිවුඩ හුවමාරු වීමේදී සිදුවූ සරල දෝෂයක් නොව පීඨ මණ්ඩලයේ සිටින ආචාර්ය මහාචාර්යවරුන් විසින් ගැඹුරින් සලකා බලා ගන්නා ලද ප්‍රශස්ත තීන්දුවකි. පේරාදෙණියෙන් පිටමන් කළ මේ සිසුන්ගෙන් 7 දෙනෙක් ඇතුළුව සිසුන් 13 දෙනෙක් මේ වනවිට ජයවර්ධනපුර වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කිරීමට පවා තවම මේ කටමැත ‍ෙදාඩවන ඇමැතිවරයා අපොහොසත් වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.
ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ උපාධි මුදලට විකිණීමට එරෙහිව එහි ශිෂ්‍ය සංගමය පසුගිය පස්වැනිදා

උද්ඝෝෂණයක් කළ බවත්, උද්ඝෝෂණය නිමවා එන සිසුන්ට උපකුලපතිවරයා බැන වැදුණු සැටිත්, එම ස්ථානයේ සිටි ඇමැතිවරයා නොදැක්කා නොවේ. එහි ප්‍රතිඵලය වූයේ වෛද්‍ය සිසු සිසුවියන් 25කට පන්ති තහනමක් ලබාදීමයි. මෙසේ සිසුන්ට දඬුවම් කිරීමට උපකුලපතිවරයාට නියෝග කර සිසුන්ගෙන් පළිගෙන තම හිස් බව ප්‍රදර්ශනය කර ඇත්තේ ඇමැතිවරයා විසින්මය. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි මෙසේ මුදලට විකුණමින් තිබියදී උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නේ නැතැයි කීම ආණ්ඩුවේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් චින්තනයේම කොටසකි.
එස්.බී. දිසානායක ඇමැතිවරයා 'විශ්වවිද්‍යාල' යන වචනයට නව නිර්වචනයක් එක් කර ඇත. ඔහු කියන්නේ අපේ විශ්වවිද්‍යාල 'විශ්ව ආයතන' වීමට නම් එම ආයතනවල විදේශ දරුවන් 10%ක්වත් සිටිය යුතු බවය. ඔහුගේ පුතුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට යවා අධ්‍යාපනය ලබා දුන්නේ ඒ රටේ විශ්වවිද්‍යාල විශ්ව ආයතන කිරීමට දැයි අපි නොදනිමු. ලංකාවේ විශ්වවිද්‍යාලවල ඇති ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගම් තහනම් කරමින්, පරිපාලනය දේශපාලනීකරණය කරමින්, ආචාර්යවරුන්ගේ නිදහස අහිමි කරමින් විශ්වවිද්‍යාල රැඳවුම් කඳවුරු බවට පත්කරගෙන සිටින ඇමැතිවරයාගේ දැක්ම සහ දැනුම ඒ ප්‍රකාශයෙන්ම හෙළිදරව් වේ. විශ්වවිද්‍යාල විශ්ව ආයතන බවට පත්කිරීමට කළයුත්තේ ස්වාසිලන්තයේ හා උගන්ඩාවේ සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්ව දී ඔවුන් ඒවායේ පිරවීම නොව ආචාර්යවරුන්ට හා සිසුන්ට අධ්‍යයනයට හා පර්යේෂණ කටයුතුවලට අවශ්‍ය ස්වාධීනත්වය විශ්වවිද්‍යාල තුළ ගොඩනැඟීමයි.
එස්.බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමැතිකම දරන මේ මොහොතේ ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් 250කගේ පමණ පන්ති තහනම් කොට ඇත. සබරගමුවේ 53ක්, ශ්‍රී ජයවර්ධනපුර 55ක්, පේරාදෙණිය 27ක්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 70ක් ආදී ලෙසිනි. ඉකුත් සතියේදී සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර හා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලවල 142කගේ පන්ති තහනම් කර ඇත. ශිෂ්‍ය සංගම් 06ක් තහනම් කර ඇත. කොළඹ, කැලණිය, ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ අයිතියට බාධා කර ඇත. සිසුන්ගේ පන්ති තහනමට අදාළ ලිපියට අස්සන් කරන්නේ උපකුලපතිවරයා බව ඇමැතිවරයා අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ සිසුන්ගේ පන්ති තහනම් කරන බවට මාධ්‍යවලට ප්‍රකාශ කෙළේ ඇමැතිවරයාත් ඔහුගේ දේශපාලන පත්වීම් ලැබූ අමාත්‍යංශ නිලධාරීනුත්ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සහ සිසුන්ගේ පන්ති තහනම් කළ බවට මාර්තු 15දා රටට ප්‍රකාශ කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරක් නොවන ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මන්ත්‍රිවරයකු වූ කිර්ති මාවැල්ලගේය. මෙසේ ශිෂ්‍ය මර්දනය සියතට ගත් අධ්‍යාපන ඇමැතිවරයෙක් අධ්‍යාපනය වැනසීමේ ගහලයෙක් නොවේද?
2012 වසරේ උසස් පෙළ විභාගයෙන් සිසුන් 6000ක් වැඩිපුර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට ඇමැතිවරයා කියා සිටී. උසස් පෙළ ප්‍රතිඵල වාර හතරකදී නිකුත් කර එය අවුල් වියවුල් බවට පත් කළේ ආණ්ඩුවයි. ඉන්පසු සිසුන් සහ මවුපියන් රට පුරා උද්ඝෝෂණ සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිඵලය වූයේ සිසුන් 6000කට ආසන්න පිරිසක් වැඩිපුර බඳවාගැනීමට අධිකරණ නියෝගයක් නිකුත් කිරීමයි. ඇමැතිවරයා යටතේ සිටින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කළේ වැඩිපුර සිසුන් බඳවාගැනීමට නොවන බව අපට අමතක නැත. ඇමැතිවරයාට අමතක නම් එහි නඩු වාර්තා පරීක්‍ෂා කළ බැලිය හැකිය. අවසානයේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියට අගවිනිසුරු පදවිය අහිමිවීමට එක් හේතුවක් වූයේද ආණ්ඩුවේ කැමැත්තට එරෙහිව සිසුන්ට සාධාරණය ඉටුකිරීමයි.
එබැවින් උසස් අධ්‍යාපන ඇමැති ධුරයේ කාර්යභාරය විය යුත්තේ අධ්‍යාපනයේ අර්බුද පෙන්වා දෙන දේශපාලන පක්‍ෂ, ශිෂ්‍ය සංගම් හෝ පුද්ගලයන්ට අවලාද ගසමින් සිටීම නොව රටේ අනාගතය ගොඩ නැඟීමට සමත් විද්‍යාර්ථීන් බිහිකිරීමේ වැඩපිළිවෙළකට අවධානය යොමු කිරීමයි. ඒ වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් යෝජනා කිරීමයි. එසේ නොකොට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹමින්, රාජ්‍ය විශ්වවිද්‍යාල දුබල කරමින්, අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කරමින්, විශ්වවිද්‍යාල ස්වාධීනත්ව අහිමි කරමින්, ශිෂ්‍යයන් මර්දනය කරමින් ආණ්ඩුව මේ ගෙන යන ක්‍රියාපද්ධතිය

පිළිබඳ පාළුගෙයි වළං නොබිඳ විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ඇමැතිවරයාට වැඩිදුරටත් අභියෝග කර සිටිමි

උපුට ගැනිම  lanka day web

No comments:

Post a Comment