Tuesday 18 June 2013

ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ චණ්ඩි පුතා විදුහල්පතිට ගහන්න පැනලා නිවන්තකචේතිය විදුහල නොසන්සුන්

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එජනිස මන්ත්‍රීවරයකු වන අනිල් පුෂ්පානන්ද නැමැත්තාගේ පුත්‍රයා අද (18) දහවල් 11 ට පමණ ඔහු ඉගෙනුම ලබන අනුරාධපුර නිවන්තකචේතිය විදුහලට කඩා වැදී එහි විදුහල්පති ආර්. කේ. එස්. කටුගම්පොළ මහතාට පහර දීමට උත්සාහ කිරීමෙන් එම විදුහලේ සිසුන් හා ගුරුවරුන් දැඩි නොසන්සුන්තාවට පත් වී සිටිති. මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට වයස අවුරුදු 18 කි. ඔහු මෙවර අගෝස්තුවේ පැවැත්වෙන අ.පො.ස (උ.පෙ) සඳහා වාණිජ්‍ය අංශයෙන් පෙනී සිටීමට නියමිත. මෙම සිසුවා අධ්‍යයන නිවාඩු මත පසුවන අතර හදිසියේම අද (18) දහවල් විදුහලට පැමිණීම සම්බන්ධයෙන් විදුහල්පති කටුගම්පොල මහතා ඔහුගෙන් විමසීමක් කර තිබේ. “ උඹට ඒක වැඩක් නෑ ” කියමින් සිසුවා විදුහල්පතිවරයාට පහර දීමට කඩා පැන ඇත. එම අවස්ථාවේ කාර්යාලයේ සිටි ගුරුවරුන් විසින් සිසුවා වළකා ගෙන තිබේ. මෙම විදුහලේ ගුරුවරුන් 139 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් සියයකට වැඩි ගුරුවරුන් පිරිසක් සහ සියලුම සිසුන් විදුහල්පතිවරයාගේ නිල කාමරය ඉදිරිපිට රැස්වී මේ වනවිට සිද්දියට එරෙහිව විරෝධතාවක යෙදී සිටිති. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පණිවිඩයක් අනුව අනුරාධ මූලස්ථාන පොලිසියේ නිලධාරින් රැසක් විදුහල් බිමට පැමිණ සිටිති. මන්ත්‍රී අනිල් පුෂ්පානන්දගේ පුත්‍රයාට එරෙහිව මීට මාස 1 ½ ට පෙර අනුරාධපුර උසාවියේ නඩුවක් ද පවරා තිබේ. ඒ, මිහින්තලය මහකනදරාව ප්‍රදේශයේ බීමත්ව ඉතා අශෝබන ආකාරයට හැසිරෙමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර කිරීම හේතුවෙනි. එම නඩුවේ විත්තිකරුවකු වන මොහු මේ දිනවල ඇප මත නිදහස් වී පැමිණ සිටී. සිය පුත්‍රයා පාසලට පැන විදුහල්පතිවරයාට පහර දීමට සූදානම් වූ බවට තොරතුරු ලද සැනින් නිවන්තකචේතිය විදුහලට පැමිණි මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද සිය පුත්‍රයා ‍පාසලින් අස් කරවා ගෙන ඇත. අනතුරුව විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට වැඳ සමාව ගන්නා ලෙස මන්ත්‍රීවරයා සිය පුත්‍රයාට අණකර තිබේ. සිසුවා විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට වැඳ සමාව ගත්ත ද ගුරුවරුන් ඔහුගේ වැඳීම ගණන් ගත්තේ නැත. ගුරුවරුන් සහ සිසුන් මෙම සිසුවාට සහ ඔහුගේ මන්ත්‍රී පියාට දැඩි අප්‍රසාදය පළ කරද්දී ඔවුන් දෙදෙනා විදුහලෙන් පිට වී ගියහ. නොසන්සුන්කාරී බව තවමත් නිවන්තකචේතිය විදුහලේ පවතින අතර විනය භාර ගුරුවරුන් සිසුන් සන්සුන් කර ගන්නට උත්සහ කරති.

No comments:

Post a Comment