Wednesday 5 June 2013

"හබරාදුවේ පොලිස්‌ මැරයන් වහා ඉවත් කරනු"

හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු මියයැම පිළිබඳව පොලිසියට විරෝධය පළ කරමින් ගාල්ල නුගදූව ප්‍රදේශවාසීන් දෙසීයක පමණ පිරිසක්‌ එම පුද්ගලයාගේ මළ සිරුර ගාල්ල අකුරැස්‌ස මාර්ගයට ගෙනැවිත් උද්ඝෝෂණය කිරීම නිසා ඊයේ (05) ගාල්ල නුගදූව ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

කලහෙ ප්‍රදේශයේ විදේශීය කාන්තාවකට අයත් නිවසකින් දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුගිය 31 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 02 දා ඔහු මිය ගියේය. මේ පිළිබඳව හබරාදුව පොලිසිය වෙත සැකකරුගේ පවුලේ ඥාතීන්ගෙන් දැඩි විරෝධතා එල්ල වී තිබුණි.

ගාල්ල නුගදූව ආනංගොඩ පදිංචි බී. එච්. බුද්ධි චානක පියරත්න (අවු. 28) නමැති දෙදරු පියකු මෙසේ මියගොස්‌ ඇත.
ඊයේ (05 වැනිදා) පෙරවරු 11.00 ට පමණ මියගිය අයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ඥාතීන් මෘත දේහය ගාල්ල
අකුරැස්‌ස මාර්ගයේ නුගදූව පාලම අසලට ගෙන ආවේ උද්ඝෝෂණ සටන් පාඨ කියමිනි.

'හබරාදුව පොලිසියේ මැරයන් වහා ඉවත් කරනු', 'දඬුවම් දෙන්නේ පොලිසියද, අධිකරණයද?', 'ගමම හඬයි. ඔහු නිහඬයි', 'සාධාරණය ඉටු කරනු', 'අසාධාරණයට ඉඩ නොදෙනු' ආදී සටන් පාඨ ඇතුළත් පුවරු උද්ඝෝෂකයන් අත තිබිණි.
පසුව උද්ඝෝෂකයෝ පිරිස මිනී පෙට්‌ටිය නුගදූව පාලම මත තබා ගාල්ල අකුරැස්‌ස මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කරන්නට වූහ.
මේ නිසා ගාල්ල අකුරැස්‌ස මාර්ගය පැයක පමණ කාලයක්‌ අවහිර වූ අතර, දැඩි රථවාහන තදබදයක්‌ පැවතිණි.

ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරි කේ. ඩබ්. කීර්තිරත්න, සහකාර පොලිස්‌ අධිකාරී නන්දන යන මහත්වරු ඇතුළු පොලිස්‌ නිලධාරීන් මෙම ස්‌ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරනු ලැබූ අතර, පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර අවස්‌ථා කිහිපයකදීම උණුසුම් වචන හුවමාරු සිදුවිණි.
ගාල්ල වරාය පොලිසිය අහංගම පොලිසිය අක්‌මීමන ආදී අවට පොලිස්‌ ස්‌ථාන රැසකින් විශේෂ කැරලි මර්දන ඒකක කැඳවනු ලැබ තිබිණි.

පැයක පමණ කාලයකින් පසුව උද්ඝෝෂකයන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
ගාල්ල වරාය පොලිස්‌ ස්‌ථානාධිපති මෙෂාන් සිල්වා, අහංගම පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. අයි. වෛද්‍යරත්න මහත්වරුන් ඇතුළු උසස්‌ පොලිස්‌ නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරනු ලැබීය.


No comments:

Post a Comment