Sunday 2 June 2013

සුළු ධනේශ්වර හිස් ගෙඩි වලට ආ එකම අභිප්‍රාය වුයේ " විජේවීරට චීන පිලෙන් ඉවත් වී අලුත් පක්ෂයක් හැදුව නම් ඇයි අපිට බැරි "

"සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසීමටවත් ඉකිබිඳ හැඩීමටවත් නොවේ. අත්දැකීම් ලබා ගැනීමටයි ..!!!!

1965 වෙසක් පොහෝ දින ගාල්ලේ අක්මීමන කම්කරු සහෝදරයෙකුගේ නිවසට එක වූ හත් දෙනෙක් ඉතිහාසයේ දැවැන්ත පියවරක් තැබීමට දේශපාලන කතිකාවක යෙදුනි..ලාංකීය පසුගාමී වම විසින් දිරාපත් කර තිබු වමේ සිතුවිලි වලට නව ජවයක් දීමට හැකි වුයේ රෝහණ විජේවීරයන් බිහි කල නව දේශපාලන වයාපාරයටයි. 1964 කම්කරු ඉල්ලීම් පාවාදුන් වමේ වෙස් මුහුණු පැළඳ සිටි සට කපටයන් එලි දරව් කරමින් සැබැ වම ඉදිරියට පැමිණියේය. අවුරුදු 48 ක ජ.වී.පෙ. ඉතිහාසය තුල පක්ෂයේ නාමයෙන් දිව කට මැද ගත් සුළු පිරිසක් පක්ෂයෙන් ඉවත්වී තිඹිරිගෙට අවලාද නැගු අවස්තාවන් දුටු වෙමු. 1965 දේශපාලන ව්‍යාපාරය අරඹා වසර හතරකින් ධර්මසේකර කල්ලිය බිහිවිය.ඉන් පසු තවත් පිරිසක් විවිද වකවානු තුල කල්ලි අටවමින් සුළු කාලයක් තුල දේශපාලන කුණු බක්කියට වැටුණි. ජවිපෙ න් ඉවත් වූ සුළු ධනේශ්වර හිස් ගෙඩි වලට ආ එකම අභිප්‍රාය වුයේ " විජේවීරට චීන පිලෙන් ඉවත් වී අලුත් පක්ෂයක් හැදුව නම් ඇයි අපිට බැරි " යන්නය. ඉන් පසු කල්ලි ගැසී බෝර්ඩ් ලෑලී පක්ෂ කිහිපයක්ම බිහි වී අපේ දෙනෙත් ඉදිරිපිටම චුත වී ගියේය. ඉතිහාසය පුරාමත් , වර්තමානයේත් විජේවීර සහෝදරයා කල කාර්ය අනුකරණය කිරීමට උත්සහ කල වුන් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ තමන්ගේ න්‍යායික හා දේශපාලන තකතීරුකමය.
කල්ලිවාදීන්ගේ සිත් ඇදගන්න සුළු ප්‍රකාශයන් , මධුර නාද මාලා, හා අනුවේදනීය කතන්දර පිටුපස සැබැ ලෙසම නියෝජනය වුයේ කාගේ හෝ උවමනාවක් මිස පොදු දේශපාලන වුවමනා නොවේ.ජ.වී.පෙ. සැමදා මෙන්ම අදටද අවස්තාවාදයේ සියලුම වේශයන් හෙළි දරව් කිරීමට නොපැකිලිව ඉදිරිපත් වේ. මාක්ස් ගේ යුගයේ සිට මේ දක්වාම සියලු සුළු ධනේශ්වර අවස්තාවාදීන්ට එක සමාන රෝග ලක්ෂණයක් තිබුණි.ඒ ඔවුන් න්‍යායට දක්වන බියයි, අකමැත්තයි. එය ඔවුන්ට ගැරඩියාට භූමිතෙල් බඳු විය. කල්ලිවාදීන් තුල විද්‍යාමාන වුයේද එයයි. ඔවුන්ට හිතු ලෙස , තම කල්ලිවාදී සුළු ධනේශ්වර අරමුණු වලට අවශ්‍ය ලෙස හැම පැයකදීම සටන් පාඨ , අරමුණ වෙනස් විය. නිශ්චිත දේශපාලන ගමනක සේයාවක් හෝ නොතිබුණි. ගාල කඩා ගත් හරක් රංචුවක් ලෙස රටේ ජනතාවගේ උසුළු විසුළු වලට බඳුන් විය. කල්ලිය ඛේධවාචකයකින් නිමා වුයේ එසේය.
නමුත් පක්ෂයක සියලු දිස්ත්‍රික් කමිටු හා බලය තමන් සතු කරගත්තායි තප්පුලෑමක යෙදුනු පිරිසට අන්ධ භක්තියෙන් හා රැවටීමෙන් අනුගතවූ සහෝදර පිරිසක් සිටින බව අමතක නොකරමු. පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එකදු දහදිය බිඳක් හෝ හෙලා ඇති අවංක සහෝදරවරුන්හට ජ.වී.පෙ. සහෝදරාත්මක දෑත නැවත නැවතත් දික් කරන්නේ දැඩි සහෝදරත්වයකිනි. අන්තර් විශ්ව විද්‍යාලයීය සිසු සංගමය ඉතිහාසය පුරාම සටන්කාමී තේජසින් බැබලුනු බහුජන සංවිධානයකි. කල්ලිවාදෙන් විසින් අද එය අකර්මන්‍ය කර ඇත.. අපි නැවතත් සියලු සංවිධාන ගොනු කරමින් ඉතිහාසයේ මෙන්ම සටන්කාමී ජීවගුනයකින් රොක්වී රටට ජයග්‍රහණ ගෙන එන්නෙමු . කල්ලි වාදයට සදාකාලික පරාජය ගෙන එන්නෙමු. ජ.වී.පෙ. සමග ඉදිරියට...
විප්ලවීය න්‍යායක් නොමැතිව විප්ලවීය ව්‍යාපාරයක් තිබිය නොහැක. ඉතාමත් පටු ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ මෝහනයක් සමග අතිනත ගෙන , අවස්තාවාදයේ හැඩකාර දේශනා පැවැත්වෙන මේ කාලයේ ලෙනින්ගේ පහත දැක්වෙන ප්‍රකාශය දෙස අවදානය යොමු කරමු "පෙරමුණු සටන්කරු කාර්ය භාරය ඉටුකිරීමට හැක්කේ දියුණු න්‍යායෙන් මඟ පෙන්වන පක්ෂයකට පමණි."

No comments:

Post a Comment