Monday 3 June 2013

වර්ගවාදී අර්බුදය හමුවේ අයාලේ යන ජාතික සමගිය'' පුජ්‍ය දඹර අමිල හිමි

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය විදිහට ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ ගිහින් අද සම්මන්ත‍්‍රණ, සාකච්ජා තියලා ජනතාව දැනුවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මව්බිමේ සුජාත දරුවන් හැටියට මාතෘ භුමියේ චිර පැවැත්ම අප ගත කරන යුගයට වඩා, අනාගත පරපුරට උරුම කරලා දෙන්න  ඕනා නිසා. ඒ වගේම ලෝකයේ කවර ජාතියක් ඉදිරියේ වුව ලබා ගත හැකි අනගිභවනීය දියුණුම ජයග‍්‍රහණය අත්පත් කරලා දෙන්න ඕනා කියන විශ්වාසය ඇතිව" යයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පුජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කලේ පොල්ගහවෙල බන්දාව ප‍්‍රදේශයේ රුකයියා උත්සව ශාලවේ පැවති ''වර්ගවාදී අර්බුදය හමුවේ අයාලේ යන ජාතික සමගිය'' මැයෙන් අධිරාජ්‍යවිරෝධි ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබු ජන හමුවක් අමතමිණි.

අද වෙනකොට ලංකාවේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 4කට ආසන්නයි. තවම අපිට පුලුවන් වුනේ නැහැ හිත් බිදුණු දෙමළ ජනයා හා සිංහල ජනයා අතර සමගිය ඇති කරන්න. ඒ නිසා තමයි දෙමළ සංධානය අද උතුරේ ජාතිවාදය වපුරවන්නේ. නොර්වේ, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් ලංකාව තුළ අධිරාජ්‍යවාදී සැලසුම් කි‍්‍රයාත්මක කරමින් ඉන්නේ. ඒ නිසා තමා අපි කියන්නේ භාගේට අධිරාජ්‍ය විරෝධි නොවී සම්පුර්ණ අධිරාජ්‍ය විරෝධි වෙන්න. මොකද නැත්නම් වෙන්නෙ? ඉරාකයට වුනේ ඒක. ලිබියාවට වුනේ ඒක. ඉරානයටත් හෙට අනිද්දා වෙන්න පුලුවන්. භාගේට අධිරාජ්‍ය විරෝධි වුනොත් නාන්න වෙනවා. අධිරාජ්‍ය විරෝධයට පෙළ ගැහෙන්න නම් ගෝත‍්‍රවාදී ඇදුම්, ආගම්වාදී ඇදුම් අතහැරලා ඊට වඩා උතුම් වූ මිනිසත් කමේ වාදය උඩට ගත්තු ව්‍යාපාරයකින් පුලුවන් අධිරාජ්‍යවාදය පරාජය කරන්න. ඒ නිසා අපිට ජාතියක් විදිහට ලෝකය ඉදිරියේ පසු බසින්න වෙලා තියෙන්නේ. බිදුණු දෙමළ හිත් හදන්න නම් ඔවුන්ගේ ඉඩම් ටික වහා ලබාදෙනු. ඔවුන්ව ස්ථීර ආදායම් මාර්ග සහිතව පදිංචි කරනු කියන්න වෙනවා. මුලතිව්වල කැඩුණු පාසල් ටික හදනු, කැඩුණු කොවිල් ටික හදනු කියන්න වෙනවා. අධිරාජ්‍යවරෝධිව පෙළ ගැහෙනනම් එහෙම වෙන්න ඕනා.
දැන් බලන්න යුරෝපා සංගමය මොකක්ද කියන්නේ? දෙමළ ජනයාව පදිංචි කරලා නැහැ. ඔවුන්ට මාධ්‍ය නිදහස නැහැ. ජිවත් වෙන්න විදහක් නැහැ. ඕවනේ කියන්නේ. ඉතින් අධිරාජ්‍යවාදීන් ඕවා පෙන්වන්න කලින් අපේ හිල් ටික අපි වහගත්තනම් ඉවරනේ. තනි සිංහලයෙක් විදිහට දෙමළ ජනතාව ඉදිරියට ගිහිල්ලා අධිරාජ්‍යවාදීන් එක්ක හැපේපෙන්න බැහැ. අප රට තුළ ජාතික සමගිය ගොඩ නගා ගෙන ඉන්න කොට කියනවනම් එහෙම නැහැ කියලා අපි ඒකට විරුද්ධව සටන් කරන්න ලැස්තියි. ඒ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවත් එක්ක. එත් දෙමළ මිනිහට ගහලා, දෙමළ මාධ්‍යට ගහලා, මුස්ලිම් මිනිහගේ කඩෙට ගහලා, මුස්ලිම් අය සිංහල මිනිහගේ කඩෙට ගහලා, අපි ජාතිකත්වයන් විදිහට සමීප වෙන්න තියෙන ඉඩ කඩ වහලා දාලා කොහොමද අධිරාජ්‍යවාදය එක්ක හැපෙන්නේ? අධිරාජ්‍යවාදීන් එක්ක හැපෙන්න ඕනා සමගි වෙලා. අපිට දෙමළ ජනතාවත් එක්ක ඉතුරුවුනු කොටසක් තියෙනවා. 30 අවුරුදු යුද්ධයකින් පස්සේ යුදමය වශයෙන් පරාජය කරපු බෙදුම්වාදය නැවත මතවාදීමය වශයෙන් පරාජය කරන්න ඕනා. ඒත් මේ ඉතිහාසේ කවරදාකවත් නොතිබුණු මුස්ලිම් අය සහ සිංහල අය අතර ප‍්‍රශ්නයක් ඇදලා අරන් තියෙනවා.

මේකට හේතුව මොකක්ද? අපි මෙච්චර දවසක් මුස්ලිම් කඩවලට ගියා. සිංහල කඩවලටත් ගියා. අපි කඩෙට ගිහින් ජාතිය බැලුවේ නැහැ. ආගම බැලුවේ නැහැ. අපි බැලුවෙ භාණ්ඩයේ තත්වය විතරයි. බිස්නස් ආගම්වාදයකට හරි ජාතිවාදයකට හරි ගෝත‍්‍රවාදයකට හරි යටත් කර ගත්තොත් බිස්නස් ඩවුන්. මේක ලංකාව. එහෙම කරන්න බැහැ. මොකද ලංකාව විවිධ ජාතිකත්වයන් වාසය කරන් රටක්. බිස්නස් වැටෙන්නේ මුස්ලිම් කඩ හින්ද කියලා අපි කවුරුහරි හිතුවොත් ඒක පිස්සු අදහසක්. බිස්නස් වෙනුවෙන් අපිද? අපි බිස්නස් සදහා ජිවත් වෙනවද? කියලා හිතන්න වෙනවා. බිස්නස් සදහා රටද? රට වෙනුවෙන් බිස්නස්ද? කියලා අපිට හිතන්න වෙනවා. අපි රට වෙනුවෙන් බිස්නස් කරන්න ඕනා. මොකද රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ, ජාතික ආර්ථීකය ශක්තිමත් වෙන්නේ ඒ හරහා. ඒ හින්දා ආගම සදහා බිස්නස් කරන්න බැහැ. ජාතිකත්වය සදහා බිස්නස් කරන්න බැහැ. අප බැලුවා මේක කොහෙන්ද එන්නේ කියලා. මේක අධිරාජ්‍යවාදී ලයින් එක. අධිරාජ්‍යවාදීන්ගේ දෙවැනි අදියර විදියට මේ වැඩේ පටන් ගත්තා. සිංහල, මුස්ලිම් ජාතිවාදය අවුස්සන්න.
මම අද අනාවැකියක් කියනවා. ඊළග පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයන්ගේ සමුළුව ලංකාවේ තියෙන්නේ. මේ අය එන්නේ හොඳකට නෙමෙයි. එකක් මතක තියා ගන්න. පොදු රාජ්‍ය මණ්ඩල සම්මෙලනයට එන අය අපෙන්ම කාලා, අපේම හොටෙල් වල ඉදලා, හම්බන්තොට පැත්තේ සවාරියකුත් ගිහිල්ලා, සාප්පු සාවාරිත් ගිහිල්ලා අපේම ඔලුව අතගාලා අපිට හොද ටොක්කක් ඇනලා යන්නේ. මොකද එංගලන්තේ එන්නේ නැහැ කිවා. ඔස්ටේ‍්‍රලියාව එන්නේ නැහැ කිවා. කැනඩාව එන්නේ නැහැ කිවා. දැන් ඒ අය එනවා. අධිරාජ්‍යවාදීන් මේ සමුළුව කළමනාකරණය කරන්නේ ඒ විදයට. එකෙන් අපිට ලැබෙන්න තියෙන කිර්තියට වඩා, වාසියට වඩා වෙන්න තියෙන හානිය වැඩියි. මම එහෙම කිව්වේ ලංකාවේ ඔය සමුළුව තියන්න එපා කියලා නෙමේ. හැබැයි ලංකාවේ මානව හිමිකම් උසල්ලංඝනය වෙලා තියෙන මොහොතක, ජාතිකත්වයන් අතර ජාතිවාදය අවුළුවන මොහොතක අපි කොහොමද ඒ වගේ ඒකට මුහුණ දෙන්නේ?. ඒවට මුහුණ දෙනවනම් ලංකාවේ දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය කි‍්‍රයාත්මක කරන් වැඩ කරන්න ඕනා. ඒ නිකන් ලෝකේට පෙන්න නෙමෙයි. විනිවිද පෙනෙන එකක් වෙන්න ඕනා. ඊළගට අධිරාජ්‍යවාදීන් කියන්නේ මොකක්ද? ඒ අය කියනවා උතුර නැගෙනහිර එකක් වෙන්න ඕනා කියලා. මේක වෙන වෙනම තියන් බැහැ කියලා. මේ ජනතාව දන්නවා එකක් විදයට තිබුණු උතුරු නැගෙනහිර වෙන් කර ගන්න කොයි තරම් මහන්සි වුණාද කියලා. නඩු මගට ගිහින් තමා මේක වෙන් කර ගත්තේ. දැන් අනිවාරයෙන්ම කියනවා මේක ඒකාබද්ධ කරනන කියලා. ඒ නිසා ජන්දයක් තියන්න ඕනා කියලා අධිරාජ්‍යවාදීන් කියනවා. දැන් කවුරුත් එක්කද මේ ඡන්දය තියන්නේ? අර යුද්ධයෙන් බැට කාපු, යුද්ධයෙන් සියලු දේපල අහිමි වුණු ජනතාවක් ඒක්ක තමා ඡන්දයක් තියන්නේ. නැගෙනහිර ජිවත් වෙන දෙමළ ජනතාවගේ හිත් බිදිලා තියෙන්නේ. අවුරුදු  30ක යුද්ධයක් කරලා, ඒ නිසා පෑරුණු හිත් තවම ඉතුරු වෙලා තියෙනවා. නැගෙනහිර ජනගහණ ප‍්‍රතිශතය කොහොමද තියෙන්නේ? සිංහල 33% යි. මුස්ලිම් 33% යි. දෙමළ 33%යි. ජන්දයක් තිබ්බත් අපිට වෙන්න තියෙන වාසිය අඩුයි. මොකද ඒ අය දකුණේ ජනතාව එක්ක එකට ඉන්න ඕනා කියලා ඡන්දය භාවිත කරන්නේ නැහැ. එත් සිංහල ඡන්ද ටිකයි මුස්ලිම් ඡන්ද ටිකයි ගත්තම අපේ ගොඩට වැඩි වෙනවා. ඒ නිසා බෙදෙන්න  ඕනේ නැහැ කියන අදහස එනවා. ඉතින් ඕක වෙනස් කරන්න මොකද කරන්න ඕනේ?

ඒ මුස්ලිම් අයයි සිංහල අයයි එකට ජන්දෙ දෙනවා. එහෙම වුණාම බෙදන්න බැහැ. ඉතින් මේ නිසා මේක ගෙඩිය පිටින් දෙමළ අයගේ පැත්තට තල්ලු කරන්න ඕනා. එතකොට තමා බෙදන්න පුළුවන් වෙන්නේ. ඒ ව්‍යාපෘතිය තමා බොදු බල සේනා එක හරහා කර ගත්තේ. මුස්ලිම්, සිංහල අය අතර ජාතිවාදය අවුලවන්න ගත්තේ. බොදු බල සේනා එකේ හාමුදුරුවරු එක්ක අපිට පුද්ගලික තරහක් නැහැ. ඔයාලගේත් එහෙම තියෙන්ඩ බැහැ. ඔයාල දන්නවා බොදු බල සේනා ඒක ආපු ගමන් අපි ඒකට මැදිහත්වෙලා පරාජය කරන්න. ජාතික සමගිය වැදගත් කියන මතය උඩට මතු කරනන් අපිට පුලුවන් වුණා. ජාතික සමගිය හදන්න ඒ අය එනවනම් ඒ අය පිළි ගන්නවා. එහෙම නැතිව නම් අපි පිළි ගන්නේ නැහැ. අපිට සටන් කරල හොදට පළපුරුද්දක් තියෙනවා.
මම තදින් විරුද්ධ වුණා හෙළ උරුමේ පාර්ලිමේන්තුවට එනකොට. ඔය කුණු ගොඩෙ ලගින්න ගියොත් අපෙත් කුණු ගෑවෙනවා. ඒ නිසා ඒකට යනන එපා. එතෙන්ට වැටෙන්න එපා කියලා මම කිවා. හෙළ උරුමේ අයට මාව පේන්න බැරි තත්වයට පත් වුණා. ස්වාමින් වහන්සේලා ඊට උඩින් ඉන්න ඔනා. හැබැයි දැන් මඩ නාගෙන මඩ කරියෝ වගේ ඉන්න වෙලා. ඔය කුණු ගොඩට වැටෙන්න එපා කියල මම කිවා.
අපි සිංහල ජාතිවාදයට, බෞද්ධ අන්තවාදයට විරුද්ධ වුණා. ඒ වගේම මුස්ලිම් ජාතිවාදයටත්, ඉස්ලාම් අන්තවාදයටත්, දෙමළ ජාතිවාදයටත්, හින්දු අන්තවාදයටත් අපි විරුද්ධ වෙමු. ජාතිවාදී ලණුවලට අපි පැටලෙන්න ඕනි නැහැ. අපි මේ සමාජේ තනි තනි පුද්ගලයා එකතු වෙලා ලොකු ලණුවක් වෙලා මේ ජාතිවාදය අන්තවාදය පරදවන්න ඕනා. අපි එන්න ඔනා ජතිවාදය නැති ආගම්වාදය නැති තැනකට. ඕයාලගේ වගකීම තමයි ජාතිවාදී නොවන එක. ඒවාට පැටලෙන්න එපා.

අපිට ආණ්ඩුව එක්ක තියෙන්නනේ කන්න බොන්න ප‍්‍රශ්ණයක් නෙමෙයි. ආණ්ඩුව කියනවා ජාතික සමගිය ගොඩ නගනවා කියලා. නමුත් සෙසු ජාතීන්ට ප‍්‍රශ්ණයක් වෙනකොට ඒ පිළිබඳ කි‍්‍රයාත්මක වීම මන්දගාමීයි. දැන් ජාතික සමගිය අයාලේ යන තත්වයකට පත් වෙලා. ඒ නිසා අපේ වගකීම වෙලා තියෙන්නේ අද මේ තත්වය පිළිබද ජනතාව දැනුවත් කරලා ජාතික සමගිය ඇති කිරීම. ආගම්වාදය හරි, ජාතිවාදය හරි, ගෝත‍්‍රවාදය හරි පදනම් කරගෙන මිනිස් සමාජයට ජයග‍්‍රහණ ගෙනල්ල දෙන්න බැහැ. මතක ඇති හිට්ලර්ව, ජාතිවාදය පදනම් කරගෙන කෝටි ගණනක් ඝාතනය කළා. ඉරාකය බලන්න. පසුගිය මාසේට විතරක් 1000කට අධික පිරිසක් ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඉරානේ එහෙම වුණා. දළදා වහන්සේ වෙනුවෙන් යුද්ධ හටගෙන ලක්ෂ ගණනක් ලේහලාගෙන මැරිලා තියෙනවා. 83දීත් ඒක වූනා. දැන් ආපහු වෙන වටයකින් පටන් ගන්න හදන්නේ. ඒ නිසා ආණුඩුවකට හරි වගකීමක් තියෙනවනම් ජාතික සමගිය අයාලේ යන්න දෙන්න බැහැ. නමුත් ආණ්ඩුව හරියට ඒ පිළිබද වගකීම ඉටු කරන්නේ නැහැ. ජාතික සමගිය හදන්න පුළුවන්. විවිධ වෙස් මුහුණු දාගෙන විවිධ විධියට මේ ජාතිවාදය අරගෙන එනවා. ඔයාලගේ පැත්තෙනුත් මේ ජාතිවාදය ඇතිවෙන එක වළක්වන්න. අපි එකම රටක් විදියට, ශි‍්‍ර ලාංකීය ජාතිය ගොඩ නැගීමෙ කාර්යයට උරදෙන්න ඕනා. මිනිස් සමාජයට ජයග‍්‍රහණ ගෙනල්ල දෙන්න පුළුවන් අපි එකතු වුනොත් විතරයි. අවසාන වශයෙන් ඉල්ලනවා 




ජාතිවාදය, ආගම්වාදය පදනම් කරගෙන මව්බිමට සතුරු බලවේගවලට තල්ලු වෙන්න එපා. ජාතික සමගිය සුරුකීමට සියළු දෙනාම එකමුතු වී ඒ සදහා කැප වෙමු.
මේ අවස්ථාවට අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ පොල්ගහවෙල සංවිධායක රියාස් මහතාද පූජ්‍ය කොරදොළුවේ අනුරුද්ධ හිමියෝද සහභාගී වි සිටියහ.

No comments:

Post a Comment