Saturday 8 June 2013

ටියුනිසියාවත්,ඊජිප්තුව,යේමනය සහ ලිබියාව ඔස්සේ අරාබි ලෝකය දෙදරවමින් පැතිර ගිය විප්ලවයේ දේශපාලන චණ්ඩ මාරුතය තුර්කියටත්

ආණ්ඩු විරෝධී ජන කණ්ඩායම් සහ ‍පොලීසිය අතර හටගත් ප්‍රචණ්ඩ ගැටුම් නිසා සතියක් පමණ පැතිර ගිය උණුසුම මැද තුර්කිය තවමත් කැකෑරෙයි.
තුර්කියට දැනෙන මෙම දේශපාලන තාපය එරටට පමණක් සීමා වූ “හුදෙකලා රස්නයක්” නොවේ. එමගින් දැඩි ජාත්‍යන්තර පීඩනයකුත් ඇති කරයි.
ආසියාව සහ යුරෝපය අතර උපායමාර්ගික භූ දේශපාලන සන්ධිස්ථානයක තුර්කිය පිහිටා තිබෙන්නේ ඕනෑම මොහොතක පිපිරීම්වලට ගොදුරු විය හැකි රටවල් කිහිපයක් ඇසුරෙහිය.
Thurki1දැනට ජාත්‍යන්තර දේශපාලනයේ ඉතාම තියුණු අර්බුදය බවට පත් සිවිල් යුද්ධය සිදුවෙන සිරියාවත්, ඇමෙරිකාව සහ ඊශ්‍රායෙලය සමග ඕනෑම මොහොතක “වලියක්” ඇද ගැනීමට නොපැකිළෙන ඉස්ලාමීය බලවතා වන ඉරානයත්, සුන්නි - ෂියා මුස්ලිම් කොටස් අතර ප්‍රචණ්ඩ ගැටුම්වලින් දෙදරුම් කන ඉරාකයත් ඇතුළු තව රටවල් කිහිපයක් තුර්කියට මායිම් වී තිබේ.
ඒ අතරම ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙහෙයවීම ඇති ජාත්‍යන්තර යුද හවුල වන උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ සාමාජිකත්වය හිමි එකම මුස්ලිම් රටත් තුර්කියයි.
ඇමෙරිකන් “පේට්‍රියට්” මිසයිල තුර්කිය තුළ සවිකර ඇත්තේ රටවල් කිහිපයක විරෝධය මැදය.
තුර්කි අගමැති රෙසෙප් ටායෙප් එර්ඩොගාන් මොරොක්කෝවේ ඇල්ජීරියාවේ සහ ටියුනීසියාවේ නිල සංචාර සඳහා ගිය සඳුදා ගුවන්ගත වන විටත් විපක්ෂ විරෝධක කණ්ඩායම් සහ රජය අතර ගැටුම් ප්‍රචණ්ඩ ස්වරූපයකින් පැතිරෙමින් තිබිණ. ඒ බව නොතකා මුලින් මොරොක්කෝවේ සංචාරය ඇරැඹූ ඔහු රබාට් නගරයේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ තුර්කියේ ගැටුම් තුනී වෙමින් ඇති අතර, දින කිහිපයකින් තමා ආපසු සිය රටට යන විට ප්‍රශ්නය මුළුමනින්ම විසඳී තිබෙනු ඇති බවය.
එහෙත් අඟහරුවාදා වන විට ගැටුම්කාරීත්වය මොනතරම් බරපතළ වීදැයි කියතොත් සාමකාමී පෙළපාළිකරුවන් මර්දනය කිරීම උදෙසා ‍පොලීසිය විසින් පමණ ඉක්මවා බලය යෙදැවීම ගැන ජනතාවගෙන් සමාව අයැදිමින් ප්‍රකාශයක් කිරීමට නියෝජ්‍ය අගමැතිවරයාට බලකැරෙන දේශපාලන අවදානමක් උද්ගත වී තිබිණි.
ඉන්පසු තරමෙක තැන්පත් බවක් දැකගත හැකි වූවත් ගැටුම්කාරීත්වය අවසන් වූයේ නැත.
විරෝධතාව මුලින් පටන් ගත්තේ මැයි 31 වැනිදාය. එහිදී වූයේ ඉතා සුළු සාමකාමී ආරම්භයකි. එය මූලික වශයෙන් පරිසර හිතකාමීන්ගේ මෙහෙයවීමෙන් මතු වූ “හරිතවාදී” උද්ඝෝෂණයක හැඩරුව ඉසිලීය. ඉස්තාන්බුල් නගරයේ ටැක්සීම් චතුරස්‍රයේ පිහිටි ‘ගේෂා’ නමැති උද්‍යානය බිමට සමතලා කැර, එය මත නවීන සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ඉදිකැර නගරාලංකාර ව්‍යාපෘතියක් ඇරැඹීමට රජය ගත් තීරණය වළකා ගැනීම උද්ඝෝෂකයන්ගේ අරමුණ විය. නගරයට ඇති එකම මහජන  උද්‍යානය විනාශ කර, එයට අයත්ව තිබුණු මුළු භූමිය “කොන්ක්‍රීට් වනාන්තරයකට” යට කිරීම දරුණු පාරිසරික අපරාධයක් බව විරෝධතාවයන්ගේ මතය විය.
රාජ්‍ය අරමුදල් විශාල වශයෙන්  වැය කෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පවරා දී තිබුණේ  අගමැතිවරයාගේ  “යුක්ති ධර්ම සහ සංවර්ධන” පක්ෂයට සම්බන්ධ සමාගමකටය.
ඉදිකිරීම් ව්‍යාපෘතියට එල්ල වූ විරෝධය ආණ්ඩුව  පෙරළීමේ දේශපාලන කුමන්ත්‍රණයක් බව කියා පෑ අගමැති  එර්ඩොගාන් ප්‍රධාන විපක්ෂය වන සමූහාණ්ඩු  පක්ෂය එය පිටුපස ඇතැයිද එය මෙහෙයවන විදේශීය හස්ත පවතින බවද ප්‍රකාශ කළේය. එහෙත් එම විදේශ රටවල් මොනවාදැයි ඔහු නම් කළේ නැත.Thurki
රජයේ ව්‍යාපෘතිය පරිසරවේදී  විරෝධය නොතකා  කෙසේ හෝ ක්‍රියාවට නැංවීම ඔහුගේ දැඩි අදිටන විය.
මේ අතර පරිසර ආරක්ෂක සටන පළල් බහුජන  සහභාගිත්වයක් ඇති දේශපාලන විරෝධතාවක් බවට පත්වූයේ පරම්පරා ගණනක්  තිස්සේ තමනට සිසිලත් සෙවන සහ සැනසුමත් ගෙන දුන් ආදරණීය හරිත උයන  රැක ගැනීමේ සටනට එකතු වීමේ  සැබෑ වුවමනාවක් ‍පොදු ජනයාට තිබුණු බැවිනි.
පරිසරවේදීන් ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු සෙසු වෘත්තීය කොටස්වල මුලපිරීමෙන් ඇරැඹි විරෝධතා ව්‍යාපාරයට රට තුළ විශාලතම වෘත්තීය සමිතිය එක් වූයේ ‍පොලිසිය යොදවා එම ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මර්දනයට පත් කැරුණු විටය. අගමැති එරිඩාගාස් බරින් වඩාත් කලබලයට වූ බව පැහැදිලි විය.
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය  දරුණු වෙත්ම ජනතාවගේ විරෝධයද තියුණු විය.
නගරයට ආශිර්වාදයක් වූ පැරැණි හරිත උයන  වළ දමා සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට  එරෙහිව ඇරැඹූ උද්ඝෝෂණය අගමැති එර්ඩොගාන්  ඉල්ලා අස්විය යුතු බවට නැගෙන දේශපාලන සටන් පාඨය දක්වා නැගී ඒමට පැය විසි හතරකට වඩා ගත වූයේ නැත.
2003 සිට තුර්කිය පාලනය කරන්නේ අගමැති එර්ඩොගන්ගේ යුක්ති ධර්ම සහ සංවර්ධන පක්ෂයයි. පාර්ලිමේන්තු මහ මැතිවරණ තුනකදීම එක පිට එක සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු රට තුළ ශක්තිමත් ජන පදනමක් ඇති නායකයෙකි.
එර්ඩොගාන්, නිසැකයෙන්ම නොයෙක් අභියෝග ඔස්සේ ගමන් ගෙන, තුර්කි දේශපාලනයේදී හොඳහැටි “තෙම්පරාදු” වී ඇති නායකයෙකු ලෙසද සැලකෙයි. එහෙයින්ම මැයි 31 දා පරිසරවේදීන් පිරිසක් ඇරැඹූ උද්ඝෝෂණය රට තුළ “සුළුතරයක” නොවැදගත් ඝෝෂාවක් ලෙස සැලකීමට ඔහු පෙළැඹිණි. සිය නායකත්වයෙන් මැතිවරණ ජය ලැබිමට තෙවරක්ම සමත්වී තිබිම නිසා, ඔහු පමණට වැඩියෙන් “ඉදිමී” සිටි බවට මතකයකුත් විපක්ෂ කණ්ඩායම් අතර පවතියි. එහෙත් මෙවර ඔහු පිළිබඳ දැකගතහැකි ඛිෙදවාචකය වූයේ, තමන්ගේම පක්ෂයේ ඇතැම් පරිණත නායකත්වයට පෙනී ගිය සත්‍යය, ඔහුට අවබෝධ වී නොතිබිමයි. එනම් සුළුතරයෙක ස්ථාවරය ලෙස තමනට පෙනෙන විපක්ෂයේ මතය අවඥාවෙන් බැහැර කිරීමට හෝ රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමට නොපෙළඹිය යුතු බවය.
පරිසර මිතුරන්ගේ සුළු විරෝධතාවක් ලෙස ඇරැඹි
උද්ඝෝෂණය එර්ඩොගාන් මතෛක් මුහුණ පෑ දරුණුම ගැටුමක් බවට පත්වුණේ උයනේ ගස් කපා දැමීමට ඉදිරිපත් වූ රජයේ බලධාරීන් වැළැක්වීම උදෙසා ඔවුන් සාමකාමීව ගෙන ගිය උද්ඝෝෂණය ‍පොලිස් බලය යොදවා මැඩපැවැත්වීමත් සමගය.
පරිසර ආරක්ෂක ව්‍යාපාර මෑත කාලයේ තුර්කියේ හට ගත් ඉතාම බලගතු දේශපාලන සටන බවට පත්වූයේ එසේය.
ආණ්ඩුවට එරෙහි වීදිගත උද්ඝෝෂණයක් මතුවෙමින් ඇතැයි පෙනෙන විට එර්ඩොගාන් කළේ විරෝධකයන්ට අනතුරු හඟවා දේශපාලන බලය පෙන්වා ඔවුන් බියවැද්දීමට යත්න දැරීමය. තම පක්ෂයට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් භාගයකටවත් වඩා පාරට බැසීමට ‍පොර කන බවත්, තමා ඔවුන් නවත්වාගෙන සිටින්නේ ඉතා අමාරුවෙන් බවත් ඔහු පැවසුවේ වාගාඩම්බර පෑමක් ලෙසය. එර්ඩොගාන්ගේ පක්ෂයේම ප්‍රබල නායකයෙකු වුවද, තියුණු රාජ්‍යතාන්ත්‍රික දැක්මකින් යුතුව අර්බුදයේ ස්වභාවය වටහා ගත් ජනාධිපති අබ්දුල්ලා ගුල් විරෝධක ජනතාව සහ සිය අගමැතිවරයා අතර අර්බුදයට මැදිහත්වූයේ ඒ අවස්ථාවේදීය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්ද කොට්ඨාසයේදී ලබන බහුතරය පිළිබඳ කාරණයක් පමණක් නොවේ යැයි කියූ ජනාධිපතිවරයා සුළුතරයට සවන්දීම සහ විපක්ෂයේ මතයට ගරු කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළත් බව කියා සිටියේය. මහජනතාවගේ විරෝධතාව තුළින් දී ඇති පණිවුඩය තම සැලකිල්ලට යොමු වී ඇතැයි පැවැසීමට තරම් නම්‍යශීලි වූ ජනාධිපතිවරයා, විරෝධතා ව්‍යාපාරයට එරෙහිව ‍පොලීසිය සීමාව ඉක්මවා ක්‍රියාකර ඇති බවද පෙනී යතැයිද කීවේය.
විරෝධක ජන කොටස් බොරු ප්‍රචාර පතුරුවමින් හැසිරෙන මංකොල්ලකාරී පිරිසක් බවත්, ඔවුන් අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් ලෙසත් හඳුන්වමින් අගමැතිවරයා කර තිබූ ප්‍රකාශ වලින් කුපිත වී සිටි
විපක්ෂය තරමක් හෝ සංසුන් කරවීමට ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය සමත් විය.
මේ අතර අගමැතිවරයා රටෙන් බැහැරව සිටියදී ගිය අඟහරුවාදා නියෝජ්‍ය අගමැති බුලෙන්ක් ආරින්ච් ජනතාවගෙන් සමාව අයැද සිටියේ විරෝධතාවයේ මුල් අවස්ථාවේ එයට සහභාගි වූ අවංක සහ අහිංසක පුද්ගලයන්ගේ යුක්තිසහගත සහ නීත්‍යානුකුල ඉල්ලීම් යටපත් කිරීමට යාමේදී ‍පොලීසිය සිය සීමාව ඉක්මවා ක්‍රියාකර ඇතැයි පිළිගත් අතරය.
එර්ඩොගාන් තුර්කි දේශපාලන ඉතිහාසයේ බෙහෙවින් ජනප්‍රිය අගමැතිවරයකු ලෙස ප්‍රකටය. සිය පක්ෂය එක පිට එක මහ මැතිවරණ තුනකදී ජයග්‍රාහක ලෙස මෙහෙයවීමේ දුලබ වාර්තාවක් ඔහු සතුය. ඒ අතරම තුර්කියේ ආර්ථිකය බලගතු තැනකට නැංවීමටත් ඔහු සමත් වූ බව බොහෝ දුරට පිළිගැනෙයි.
ඒ ඔහුගේ සාර්ථක පැත්තයි. එහෙත් පසුගිය කාලය තුළ චර්ඩොගාන් ඒකාධිපතිවාදී නැඹුරුවකට ගොදුරු වූ බවද බරපතළ චෝදනා නැගෙයි.
නිර්ආගමික රාජ්‍යයක් වන තුර්කිය මූලධර්මවාදිත්වයට සමීප පිළිවෙතක් කරා ඇදගෙන යාමේ ප්‍රයත්නයක නිරත වීම නිසා තරුණ පරපුර සහ බුද්ධිමතුන් අතර ඔහුගේ ප්‍රතිරූපය පිරිහෙමින් පවතියි. තමා සමග එකඟ නොවන මතය රජයට විරුද්ධව යාමක් හෝ කුමන්ත්‍රණකාරිත්වයක් ලෙස දැකගැනීමේ දේශපාලන “අසනීපයෙන්ද” ඔහු පෙළෙතැයි චෝදනා නැගෙයි. ත්‍රස්තවාදී ‍ලේබලය අලවා විරුද්ධ මතධාරීන් කොන් කිරීමේ සහ මර්දනයට ගොදුරු කරවීමේ දුර්වලතාවක්ද ඔහුගෙන් පළ වෙයි.
තුර්කියේ කලබලකාරීත්වය මතු වූයේ යාබද ඉරානය සමග එරට මතභේද වැඩි වීම දැක ගත හැකි වීමේ පසුබිමක් මැදය. කෙසේ වුවද තුර්කි සහ ඉරාන ආණ්ඩු දෙක අතර ආරවුලක විවෘත අවස්ථාවක් කරා එම මතභේද පුපුරා එළියට පැමිණ නැත. එහෙත් දෙරට මාධ්‍ය ඔස්සේ එකිනෙක රටට එල්ල වෙන චෝදනා සහ ඇනුම්පද තියුණු වීමේ ස්වභාවයක් ඇතිව එය වර්ධනයට පත් වෙයි.
 සිය රජයට එරෙහි
උද්ඝෝෂණ මැඩීමට ප්‍රමාණය ඉක්මවූ ‍පොලිස් මර්දනයක් යෙදවීම ගැන එර්ඩොගාන්ගේ දොස් දැක ගන්නා බොහෝ බටහිර විචාරකයෝ “අරාබි වසන්තයට” සමාන අභියෝගයකට ඔහු මුහුණ දී ඇතැයි පිළිනොගනිති. 2010 ටියුනිසියාවත් මුල පිරි ඊජිප්තුව යේමනය සහ ලිබියාව ඔස්සේ අරාබි ලෝකය දෙදරවමින් පැතිර ගිය විප්ලවයේ දේශපාලන චණ්ඩ මාරුතයේ අනතුර තුර්කියට බලනොපානු ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ කරුණු දෙකක් පෙන්වා දෙමිනි. ඒ අරාබියේ අනෙක් අදාළ රටවල් මෙන් තුර්කිය ඒකාධිපති රටක් නොවීම සහ එම රටවල තරම් දුගී භාවයක් සහ සමාජ අසහනයක් තුර්කියේ නොපැවතීමත්ය.
මේ අතර තමන්ගේ අති ප්‍රබල බටහිර මිතුරා මෙන්ම ආරක්ෂකයෙකුද වන ඇමෙරිකා එක්සත් ජනපදය සිය රට තුළ කලබලකාරිත්වය ගැන දැක්වූ ආකල්පය ගැන තුර්කියට බලවත් නෝක්කාඩුවක් ඇති බවද පෙනී යයි. එය සාමකාමී විරෝධදක බලවේග මැඩීමට තුර්කි රජය ඉතා දැඩි ‍පොලිස් බලයක් යෙදවීම ගැන ඇමෙරිකාව කනස්සල්ල පළ කර ඇති හෙයිනි.
ගිය අඟහරුවාදා ඇමෙරිකන් රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරීට දුරකථනයෙන් කතා කර තුර්කි විදේශ ඇමැති ඩවු ටෝග්ලු තුර්කිය සම්බන්ධයෙන් ඇමෙරිකාව “දෙපිටකාට්ටු” පිළිවෙතක් ගෙන යතැයි චෝදනා කළ බව වාර්තා විය.
යුරෝපා රටවලදී මෙන්ම ඇමෙරිකාවේදීත් මෙයට සමාන විරෝධතා පැනනැගුණු විට නොතිබුණු කැක්කුමක් තුර්කිය ගැන හදා ගත්තේ ඇයිදැයි ඔහු කෙරීගෙන් ප්‍රශ්න කළ බව එම වාර්තාවල දැක්වේ.
තුර්කි රජයේ කෝපයට හේතු වී ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකි.
“වෝල් වීදිය අල්ලා ගැනීමේ” විරෝධතාවක් ඇමෙරිකාවෙත් පැවතුණා නොවේදැයි සිය ඇමෙරිකන් සගයාගෙන් ප්‍රශ්න කළ තුර්කි විදේශ ඇමැතිවරයා තුර්කියේ ඇත්තේ දවෛනි පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදයක් බව සිතන්නේ දැයි ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් තුර්කි සිදුවීම් ගැන ඇමෙරිකන් රජයේ් මතය යළි පැහැදිලි කළ රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරී සිය ප්‍රකාශය මගින් තුර්කියේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ කිසිදු ච්ෙතනාවක් තමන්ට නොවූ බවත් සාමකාමී විරෝධය පළ කිරීම උදෙසා ජනතාව සතු අයිතිවාසිකම් ඇතුළුව ප්‍රකාශයන් සහ ඒකරාශී වීමේ පූර්ණ නිදහසට සහයෝගය පිරිනැමීමේ වැදගත් බව සියලු රටවලට බලපාන දෙයක් බව යළිත් කියා පෑමේ අවංක ප්‍රකාශයක් හැටියට තමා එසේ පැවැසූ බවත් කියා තිබේ.
තුර්කියේ ආණ්ඩු විරෝධි ජන රැල්ල ගැන මතු වූ මෙම ඇමෙරිකන්-තුර්කි “මතභේදය” එම දෙරට අතර මූලික ප්‍රතිවිරෝධතාවක් නොවේ. මන්ද යත් එම දෙරට අතර අනේ‍යාන්‍ය රඳා පැවැතීම වඩා බලවත් වන හෙයිනි.
                                                                                                                                                 සරත් කුරේ

No comments:

Post a Comment