Tuesday 11 June 2013

විල්ගමුව ප්‍රා.සභාපති ‘යකා’නටා රැස්වීම කඩා දමා රෝහල්ගත වෙයි

විල්ගමුව ප්‍රාදේශිය සභා බල ප්‍ර‍දේශයේ ශ්‍රී.ල.නි.ප. ශාඛා සමිති ප්‍රතිසංවිධානය යටතේ අද (11) කුඹුක්ඔය ශාඛාව ප්‍රතිසංවිධානය කළ අවස්ථාවට හදිසියේ කඩා වැදුණු විල්ගමුව ප්‍රා‍දේශිය සභාවේ සභාපතිවරයා රැස්ව සිටි පිරිසට පරුෂ වචනයෙන් බැන රැස්වීම කඩාකප්පල් කිරීමේ පුවතක් විල්ගමුවෙන් වාර්තාවේ. පාර්ලිමේන්තු මන්ත්‍රි , මාතලේ සම්බන්ධිකරණ කමිටුවේ සභාපති නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදු වූ අතර පාක්ෂිකයින් 50 ට වැඩි පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
කුඹුක්ඔය ශාඛා සමිතියට නිලධාරින් පත්කර ගැනීමට නොහැකි වන අන්දමට සභාපතිවරයා හැසිරී තිබේ. ගමට ශාඛා සමිතියක් අවශ්‍ය නොවන්නේ නම් ප්‍රශ්නයක් නැතැයි මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා පැවසීය. අනතුරුව මන්ත්‍රිවරයා රැස්විම් ශාලාවෙන් පිටව යද්දි සභාපති ජයන්ත විජේසේකර මහතා පරැෂ වචනයෙන් බැන වදින්නට පටන් ගත්තේය. එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ආරාවුලක් ඇති නොවන ආකාරයට මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටත්කර යැවීමට කටයුතු කළ බව විල්ගමව පොලිසිය කියයි.
මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමක් සිදුවූ බව පවසමින් සභාපතිවරයා හෙට්ටිපොල රජයේ රෝහලට ඇතුලත් වී ඇති අතර හෙට්ටිපොල රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහල්ගතව සිටින සභාපතිවරයාට අසාධ්‍ය නොවන බවයි.
kadapena2
ලග්ගල ප්‍රා‍දේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා විසින් තමන්ට පහර දුන් බව ජයන්ත වීරසේකර මහතා පැවසූ අතර  ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා කියා සිටියේ පහරදීමක් සිදු නොවූ නමුත් පරැෂ වචනයෙන් බනිමින් ඉදිරියට ආ ජයන්ත වීරසේකර මහතා ලිස්සා වැටුණු බවක් තමන් දුටු බවයි.
මාතලේ දිස්ත්‍රික්  පාර්ලිමෙන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් කළ විමසිමේදි කියා සිටියේ ලග්ගල සභාපතිවරයා කථා කරමින් සිටි අවස්ථාවේදි රැස්වීම් ශාලාවට කඩා වැදුණු  විල්ගමුවේ සභාපතිවරයා රැස්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවයි. විල්ගමුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

සටහන සහ ඡායාරූප - හේවා. පී කරුණාරත්න - මාතලේ

No comments:

Post a Comment