Tuesday, 11 June 2013
ඩී.අයි.ජී. වාස්‌ට පෙර අත්අඩංගුවට ගත් පොලිස් සැකකරුවන් ඝාතන රැසකට හවුල් බව හෙළිවේ
කෝටිපති ව්‍යාපාරික ඝාතනය සම්බන්ධයෙන්
ඩී.අයි.ජී. වාස්‌ට පෙර අත්අඩංගුවට ගත්
පොලිස් සැකකරුවන් ඝාතන රැසකට හවුල් බව හෙළිවේ
- සහකාර පොලිස් අධිකාරී කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට කියයි
වැල්ලවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් උප පරීක්‌ෂක ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනා තවත් ඝාතන රැසකට සම්බන්ධ වී ඇති බවට මේ දක්‌වා පවත්වා ඇති විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම් දුන්නේය.
මේ අතර මේ ඝාතනය සම්බන්ධව නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතා සමග අත්අඩංගුවට ගත් සිවිල් පුද්ගලයන් වන සැකකරුවන් දෙදෙනා අපරාධවලට අදාළව අධිකරණය වෙත කරුණු දක්‌වා සිටීමට කැමැත්ත පළ කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ගොනු කරමින් ඊයේ දැනුම් දුන්නේය.
කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සබ්දීන් මහතා වෙත සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමග එම සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කරමින් එසේ දැනුම් දුන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සැකකරුවන් දෙදෙනාගෙන් නිසි පරිදි ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ඝාතනය කිරීමේ අදහසින් පුද්ගලයන් පැහැරගෙන යැම, කොන්ත්‍රාත් මත මුදලට මනුෂ්‍ය ඝාතන සිදු කිරීම ආදී හෙළිදරව් වූ අපරාධ රැසකට අදාළව මෙහිදී විමර්ශන පවත්වන බවද, අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන සමග උප පොලිස් පරීක්‌ෂකවරයකු, පොලිස් කොස්‌තාපල්වරුන් තිදෙනකු හා සිවිල් පුද්ගලයන් දෙදෙනකු සිටින බවද පැවසූ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඔවුන් සියලු දෙනා රඳවා තබාගැනීමේ නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව කියා සිටියේය.
අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් සිව්දෙනා සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා යටතේ රාජකාරිය කළ අය බවත් මේ වන විට පවත්වා ඇති විමර්ශන මගින් ඝාතන රැසකට ඔවුන් සහභාගි වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් කියා සිටි ශානි අබේසේකර මහතා සැකකරුවන් ඝාතන සිදු කිරීමට යොදාගත් ගිනි අවි දෙකක් හා වාහන දෙකක් සොයාගෙන ඇති බවත් සැකකරුවන්ට එරෙහිව ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ විමර්ශන පවත්වන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
සමන්ත ඉලේපෙරුම
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment