Saturday 15 June 2013

සිංහරාජ මායිමේ දෙනියාය, එනසල්වත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් සිංහරාජ අඩවියට හානිකර බලපෑම්

ස්වාභාවික වනාන්තරයක් නම් කරන ලෙස මෙරට ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුගෙන් විමසූ විට ලැබෙන නිසැක පිළිතුර වන්නේ සිංහරාජ වනාන්තරයයි. ඒ තරමට මෙරට ජනතාවගේ මනස සිංහරාජ වනාන්තරය සමග බද්ධ වී තිබේ. එම නිසා එය රැකගත යුතුය යන අදහස අපගේ මනස තුළ නිරායාසයෙන් ඇති වී තිබෙන සිතුවිල්ලකි.
නමුත් වර්ෂ 1988 න් පසුව ගෙවී ගිය වසර විසි පහක කාලය තුළ සිංහරාජ අඩවියේ රක්ෂිත වනාන්තර ප්‍රමාණය තවදුරටත් පුළුල් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම තුළ රක්ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වී යාමේ තර්ජනයක් මතුවී ඇති වී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට ‍පොතුපිටිය, කැකිල්ලපිටිය, ගලෙවත්ත, ඉළුඹකන්ද, රඹුක, කජුගස්වත්ත, ජේවත්ත - කෝපි කෑල්ල, මාණිකවත්ත, හඳපාන් ඇල්ල, කඩමුදුන හා සූරියකන්ද යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සීග්‍රයෙන් සිදුකෙරෙන බව ඒ මහතා පවසයි.
මීට අමතරව මාණිකවත්ත ප්‍රදේශයේ වනාන්තර අක්කර තුන්සීයක් පමණ අනවසරයෙන් අල්ලාගෙන ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් විසින් මහා පරිමාණයෙන් මැණික් ගැරීමට සූදානම් වන බවද ඒ මහතා අවධාරණය කරයි. මේ ප්‍රදේශයේම මුස්ලිම් ව්‍යාපාරිකයෙක් විසින් මහා පරිමාණ ගස් කපා විකිණීමේ ජාවාරමක්ද ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කරන අතර හොර මත්පැන් පෙරීමේ ව්‍යාපාරයක්ද වනාන්තරය තුළ ක්‍රියාත්මක වන බව චාමිකර මහතා පවසයි.
සිංහරාජ මායිමේ දෙනියාය, එනසල්වත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් සිංහරාජ අඩවියට හානිකර බලපෑම් බොහොමයක් උද්ගත වෙමින් පවතින බව සජීව චාමිකර මහතා පවසයි. මෙම හෝටලයට පිවිසීම සඳහා කිලෝමීටර පහක පමණ දුර ප්‍රමාණයක් වනාන්තරය තුළින් ගමන් කළයුතු බව හෙතෙම සඳහන් කරයි.
මෙම හෝටලයේ වැසිකිළි හා මුලුතැන්ගෙයි අපද්‍රව්‍ය රඳවන වළවල්වලින් උතුරා යන අපද්‍රව්‍ය සෘජුවම යොමු වන්නේ හෝටලය ආසන්නයෙන් වනාන්තරය තුළින් ගලායන පිටමංගල දොළටය.
මේ  දොළේ ජලය ඊට තරමක පහළින් පිහිටි විහාරහේන ඇතුළු ගම්මාන රැසක ජනතාව භාවිතයට ගනු ලබයි. එමෙන්ම මෙම හෝටලයේ ඉවත් කරන ‍පොලිතීන් ඇතුළු සියලුම අපද්‍රව්‍ය වළවල් හාරා ඒ තුළ රඳවා වසා දැමීම සිදු කරයි. ඉතාම සංවේදී වනාන්තරයක් තුළ ස්ථානගත කර ඇති මේ හෝටලයෙන් මෙලෙස හානිකර ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් එය පස සහ ජලය දූෂණය පාංශු ජීවින්ගේ හා ජලජ ජීවින්ගේ පැවැත්මට හානිකර තත්ත්වයක් ඇති කරනු ලබයි.
වැරදි තීරණ මත නුසුදුසු ස්ථානයක හෝටල් ඉදිකිරීමට අවසර ලබා දීමෙන් ඇති වන හානිකර තත්ත්වය මින් ඉතා හොඳින් අවබෝධ කර ගත හැකිය. ඉදිරියේදී මෙවන් දෑ සිදු කිරීමේදී මෙය පූර්වාදර්ශයක් ලෙස ගෙන නැවත මෙවන් වැරදි සිදු නොකිරීමට අදාළ රාජ්‍ය අංශ යොමුවීම අවශ්‍ය බව සජීව චාමිකර මහතා පවසයි.
සිංහරාජ අඩවියට ආවේණික සත්ත්ව විශේෂ කීපයක් අතුරෙන් උරග, උභයජීවී හා කකුළුවන් යන සත්්ව කාණ්ඩ තුනට අයත් විශේෂයන්ගෙන් වැඩි ප්‍රමාණයන් සිංහරාජ අඩවියේ අනාරක්ෂිත ප්‍රදේශවන මොර්නින් සයිඩ් ප්‍රදේශයට, ගොන්ගල ප්‍රදේශයට හා හඳපාන් ඇල්ල ප්‍රදේශයට සීමා වී තිබේ. මේ ප්‍රදේශ එනසාල් වගාවන් සඳහා ශීඝ්‍රයෙන් එළි පෙහෙළි කෙරෙන අතර මෙම වනාන්තර ඉඩම් වැවිලි සංස්ථාවට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වේ. එම ආයතන මේවා පෞද්ගලික අංශයට බදු දී තිබිම කනගාටුදායක තත්ත්වයක් බව ඒ මහතා සඳහන් කරයි. මේ තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් දැනට යෝජිත ඉළුඹකන්ද සූරියකන්ද මාර්ග ව්‍යාපෘතිය හේතුවන බවද ඒ මහතාගේ අදහසයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට හා වනාන්නතර ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි මොරපිටිය - දෙනකන්ද, දෙල්ගොඩ, පනාගල, වරනැල්ගොඩ, තිබ්බොටුවාව හා බෙරගල මූකලාන යන යෝජිත රක්ෂිත වනාන්තර ජාතික උරුම වන රක්ෂිතයට පැවරීමට කටයුතු කළ යුතු බව චාමිකර මහතා පවසයි. එපමණක් නොව දැනට වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් පවතින සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර හෙක්ටයාර 2058ක භූමියද කඩිනමින් එයට ඈඳීම සිදුකළ යුතුය.
ඉන් අනතුරුව සිංහරාජ ජාතික උරුම රක්ෂිතය වටා කිලෝමීටරයක සීමාව ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම තුළින් මෙම සංවේදී වනාන්තර පද්ධතියට මායිම් ප්‍රදේශවලින් සිදුවන බලපෑම් පාලනය වනු ඇත. කිලෝමීටරයක ප්‍රේරක කලාපය තුළ හෝටල් ඉදි කිරීම ජල විදුලි බලාගාර ඉදිකිරීම්, මැණික් ගැරීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් පාලනයට පියවර ගත යුතුය. මේ කලාපය තුළ කාබනික තේ වගාව සඳහා පමණක් අවස්ථාව ලබාදිය යුතු අතර රසායනික පළිබෝධනාශක හා ‍පොහොර භාවිතා කර සිදු කරන තේ වගාව ක්‍රමයෙන් නැවැත්වීමට පියවර ගත යුතුය.
අචලා ධර්මසේන

No comments:

Post a Comment