Saturday 15 June 2013

සිසු සිසුවියන්ගේ රූමත් මවුවරුන් ගොදුරට ගත් සල්ලාල ටියුෂන් ගුරුවරයා

මාතර නගරයට ආසන්න කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි ඔහු මාතර, කඹුරුපිටිය ඇතුළු නගර කිහිපයකම පෞද්ගලික ඉංග්‍රීසි පන්ති පවත්වනු ලබන ජනප්‍රිය ගුරුවරයෙකි. ඉංග්‍රීසි භාෂාව අමාරු දෙයක් නොව පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි විෂයයක් බව පවසමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර වසර කිහිපයක සිටම ඔහු ජනප්‍රියත්වයට පත්ව තිබුණේය. තම ඉංග්‍රීසි පන්තියට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග මෙන්ම මෙම ඉංග්‍රීසි ගුරුවරයා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන් සමගද සුහදව සිටි කෙනෙකි. ඇතැම් සිසු සිසුවියන්ගෙන් ඔවුන්ගේ පවුල්වල තොරතුරු විමසා, විශේෂයෙන් මව්වරුන් පන්තියට කැඳවා දරුවන් පිළිබඳ තොරතුරු පවසන්නටද ඔහු කටයුතු කළේය. ඔහු මෙම මව්වරුන්ට බොහෝ විට පැවසුවේ “දරුවාට හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන්. දිගටම පන්තියට එව09-1න්න. මම ඉංග්‍රීසි ටික කොහොම හරි හදල දෙන්නම්. බයවෙන්න එපා” යනුවෙනි.
මේ නිසා ඇතැම් මව්වරුන් තම දරුවාගේ ඉංග්‍රීසි ගුරුවරයා පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති කරගැනීමද සිදුවිය. මේ අතරේ මෙම ඉංග්‍රීසි ගුරුවරයාගේ දැඩි අවධානයට යොමු වූ රූමත් මව්වරුන් කිහිප දෙනෙක්ද සිටියෝය. එම බොහෝ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයෝ මියගොස් හෝ ඔවුන් විදේශ රටවල සේවය සඳහා ගොස් සිටි අය වූහ. එසේම මුදල්හදල් යහමින් ඇති පවුල්වල අයද විය. මෙම තෝරාගත් මව්වරුන් සමග මෙම ඉංග්‍රීසි ගුරුවරයාට උපායශීලීව සමීප ඇසුරක් පවත්වන්නටද හැකිව තිබුණි. එම මව්වරුන්ගේ ජංගම දුරකථන අංක පවා ලබාගෙන නිතර ඔවුන් සමග කතාබහ කරන්නටද ඔහු පියවරගෙන තිබුණේය.
මෙම ගුරුවරයා සතුව රුපියල් ලක්ෂ තිහකට වැඩි වටිනාකමින් යුතු නවීන පන්නයේ මෝටර් රථයක්ද ඇත. ඇතැම් අවස්ථාවල තම පන්තිවලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්වරුන්ට මෙම සුඛෝපභෝගී මෝටර් රියේ යාමට ඔහු ආරාධනා කර තිබේ. ඇතැම් මව්වරුන් තම දරුවාගේ ඉංග්‍රීසි ගුරුවරයා බැවින් ඔහු පිළිබඳ කිසිදු සැකයක් අහිතක් ඇති කරගත්තේ නැත.
මෝටර් රථයේ රියැදුරු අසුන අසල ඇති ඩී.වී.ඩී. යන්ත්‍රයෙන් එම අවස්ථාවලදී ඔහු අර මව්වරුන්ට අසභ්‍ය නිල් චිත්‍රපට පෙන්වා ඇති බවද වාර්තා වෙයි. ඒ අතර මෝටර් රථයේ සිටින මෙම කාන්තාවන්ට ඔහු අයුතු යෝජනා ද ගෙන එන්නට විය. ඔහු ඉතා උපායශීලීව මෙම ස්වාමිපුරුෂයන්ගෙන් ඈත්ව සිටින තරුණ මව්වරුන් තම ග්‍රහණයට හසුකර ගත්තේය.
මෝටර් රථයේ යන අතරතුර මෙම ඉංග්‍රීසි ගුරුවරයා මෙම කාන්තාවන්ට පවසන්නේ රටේ ඉහළම තලයක සිටින පුද්ගලයෙකුගේ පුත්‍රයා තම සමීපතම හිතවතෙකු බවය. ඔහුට කියා තමන්ට ඕනෑම දෙයක් කරන්නට හැකි බවද ඔහු පවසා තිබේ. මේ සියල්ලම ඔහු සිදුකරන්නේ කිසිදු සැකයක් ඇති නොවන අයුරිනි.
පසුගිය වසර තුනක පමණ කාලයක් මෙම පුද්ගලයා තම ඉංග්‍රීසි පන්තියට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්වරුන් රැසක්ම මේ ආකාරයෙන් තම ලිංගික ගොදුරු බවට පත්කර ගත්තේ ඉතා පහසුවෙනි. අතපය දිගහැර මුදල් වියදම් කරමින් කෝටිපතියෙකු ලෙස හඟවමින් ඔහු අමුතුම තාලයේ චරිතයක් පහසුවෙන් රඟපා ඇති බවටද තොරතුරු අනාවරණය වේ.
මේ ඇතැම් තරුණ මව්වරුන් මෙම පුද්ගලයා තම සුඛෝපභෝගී මෝටර් රථයෙන් හෝටල් කාමරවලටද රැගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. මෙම අවස්ථාවල රහසිගතව ලබාගන්නා එම කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප අනතුරුව මෙම කාන්තාවන්ට පෙන්වා ඔවුන්ට විවිධ බලපෑම් තර්ජන සිදුකිරීමටද මොහු කටයුතු කර ඇත.
ඇතැම් කාන්තාවන් මෙලෙස බියවද්දා රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන ඒවා ආපසු දීම වංචනික ලෙස අතපසු කර ඇත. මෙම කාන්තාවන් සතුව තිබූ රත්රන් මාල ආදිය පවා ඔහු මේ ආකාරයෙන් කොල්ලකා ඇති බව සඳහන්ය.
මෙම පුද්ගලයා වසර තුනක පමණ කාලයක් මේ අයුරින් ඉතා සූක්ෂ්ම අයුරින් මෙම තරුණ මව්වරුන් තම ග්‍රහණයට ගෙන තර්ජන කරමින් බලපෑම් කර තිබේ. බොහෝ දෙනකු මේ පිළිබඳව ‍පොලීසියට හෝ තම හිතවත් අයෙකුට හෝ පවසන්නට ගොස් නැත්තේ ඉන් තමන්ට නරක නාමයක් පැමිණෙන නිසාය. මේ නිසා මොහුගේ මෙම ක්‍රියාකාරකම් දිගින් දිගටම යටපත් වන්නට විය. ඔහුටද මේ නිසා කිසිදු ගැටලුවක් ඇතිවූයේ නැත.
මේ අතරතුර ඔහු එක් මවකගෙන් රුපියල් එක්ලක්ෂ අසූපන්දහසක් ඉල්ලා ගෙන ඇත්තේ තම මෝටර් රථය අනතුරකට පත්වූ බවත්, රථය යථා තත්ත්වයට පත් කරගැනීමට එම මුදල අවශ්‍ය බවත් පවසමිනි. එම මුදල් ලබා නොදුනහොත් සියල්ල හෙළි කරන බව පවසා තර්ජනය කිරීම නිසා එම මුදල් ඔහු අතට ලැබි ඇත. ඊට අමතරව මෙම කාන්තාවගෙන් පවුම් එකහමාරක රන් මාලයක්ද උපායශීලී ලෙස ලබාගෙන තිබේ. එම සියල්ල ලබාගත් මොහු තම ඉංග්‍රීසි පන්තියට පැමිණෙන එම කාන්තාවගේ පුතුට මේ පිළිබඳ ඉඟියක් දෙන්නේ තවදුරටත් ඔහුගේ මව බිය කිරීමේ අරමුණෙන්ය. අනතුරුව මෙම ශිෂ්‍යයා මේ පිළිබඳ තොරතුරු සොයා බලා ඇත.
මේ අතරතුර ‍පොලීසියට ලැබුණ ලිපියකින් මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය
පිළිබඳව ‍පොලීසියටද තොරතුරු දැනගන්නට ලැබෙයි. මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන කටයුතු භාර වෙන්නේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතාටය. මෙම ඉංග්‍රීසි ගුරුවරයාගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ‍පොලිස් කොස්තාපල්වරියක් වෙස්ගන්වා උපාය දූතියකු ලෙස යොදවා ඔහුට පවසන්නේ ඉංග්‍රීසි පන්තියට තම දරුවා ඇතුළත් කරගත යුතු බවය.
09-2මෙහිදී ඔහු මේ කතා කරන්නේ ‍පොලිස් කොස්තාපල්වරියක් බව නොදැන ඇය සමගද සුහද ඇසුරක් පවත්වන්නට නොයෙක් දේ පවසන්නට විය. මාතර නගරයට පැමිණෙන ඔහු මෙම ‍පොලිස් කොස්තාපල්වරිය මුණගැසී තම මෝටර් රියට ගොඩවෙන ලෙස ඇයට පවසන්නේ ‍පොලීසියේ සැලසුම ගැන කිසිවක් නොදැනය. ඇය මෝටර් රථයට නැග කොහේවත් යන්නට බැරි බව කිව්වද ඔහු පවසා ඇත්තේ “අපි බෙලිඅත්තට ගිහින් එමු” කියාය. මේ අතරතුර ‍පොලිස් කොස්තාපල්වරිය තම ජංගම දුරකථනයෙන් අදාළ ‍පොලිස් නිලධාරියාට එම අවස්ථාවේදී වහා දැන්වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවේ.
‍පොලිස් නිලධාරීන් ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් සිංහල, ඉංග්‍රීසි හා දෙමළ තැටි 28ක්ද හමු වී ඇත.
වසර ගණනක් තිස්සේ මොහු ජනප්‍රිය ඉංග්‍රීසි පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කරමින් ඉතා උපායශීලීව මෙම කටයුතුවල නියැලී ඇති බව අනාවරණය වේ. තම දරුවන්ට ඉංග්‍රීසි දැනුම ලබා දෙන ගුරුවරයා කෙරෙහි මෙම මව්වරුන් අවිශ්වාසයක් නොදැක්වූ නිසා මොහුගේ උගු‍ලේ බොහෝ දෙනකු හසු වී ඇති බව පෙනී යයි. මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීමෙන් ‍පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව, උප ‍පොලිස් පරීක්ෂක දමින්ද, ‍පොලිස් සැරයන් ගමගේ, ජයලත්, නන්ද, ‍පොලිස් කොස්තාපල් සමන්ත, සුජිත්, කාන්තා ‍පොලිස් කොස්තාපල් ප්‍රමිලා යන නිලධාරීන් මෙම වැටලීම සිදුකොට තිබුණි.

පසන් රාමවික්‍රම

No comments:

Post a Comment