Sunday 9 June 2013

උඩ තට්ටුවේ ඉන්න දරුවාට රෑ කෑමට පහළට එන්න කියලා අම්මා පණිවුඩයක් යවන්නෙත් ෆේස්බුක් වලින්

සමීක්ෂණයකින් හෙළි වූ අපූරු තොරතුරු රැසක්
මීට දහ පහළොස් අවුරුද්දකට පමණ ඉහතදී තරුණ තරුණියකුගෙන් කැමතිම විනෝදාංශය කුමක්දැයි විමසූ කල්හි, ඔවුන් දෙන පිළිතුරු අතරේ තිබූ ප්‍රධාන කතාවක් වූයේ පෑනේ මිතුරන් ඇසුරු කිරීමය. එකල ඔවුන්ට මෙරට මෙන්ම නොරට පෑනේ මිතුරු මිතුරියෝ දුසිම් ගණනක් හුන්හ. පෑනේ මිතුරෙකු සමග ලිපි හුවමාරු කරගන්නා අතරතුරේ ඔහු හෝ ඇය විසින් එවනු ලබන ඡායාරූපයක් දකිනු රිසියෙන් බොහෝ දෙනෙකු පසුවූයේ නොඉවසිල්ලෙනි. එසේ ඡායාරූපයක් හුවමාරු කරගත්තද ඉන් කාටවත් හිරිහැරයක් නොවීය. හැරත් පෑනේ මිතුරන් ඇසුරු කරන්න ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවූ බවක් නම් අප අසා නැත.
කාලය හරි පුදුමය. පෑනේ මිතුරන් ගැන අද අසන්නටවත් නැති ගානය. ඒ වෙනුවට තරුණ තරුණියන්ට දැන් සිටින්නේ ෆෙස්බුක් මිත්‍ර සමාගම්ය. පෑනේ මිතුරු මිතුරියන් ගුවනින්, කෝච්චියෙන් ලිපි එවන තෙක් මෙන් ෆේස්බුක් යහළුවන්ට නම් මග බලා සිටින්නට ඕනෑ නැත. ඒ ඇසුරු සැනින් අන්තර්ජාල සබඳතාවෙන් 'ෆෙස්බුක්' යහළුවෙකු සමග සජීව සම්බන්ධවීමට හැකි බැවිනි.
දැන් දැන්නම් බසයේදී දුම්රියේදී මගතොටේදී මුණ ගැසුණු බොහෝ දෙනෙකු අසන්නේ ඔයා එෆ්.බි.එකේ ඉන්නවාද? කියාය. ඒ කතා මේ කාලයේ කොතරම් විලාසිතාවක් වී ඇතිදැයි කිවහොත් ෆෙස්බුක් ගිණුමක් නැති අයෙකු සොයාගැනීම වූ කලී නොමළ අයෙකුගේ නිවසකින් අබ අහුරක් ඉල්ලා ගන්නවාටත් වඩා අමාරු දෙයකි.
සැබැවින්ම තරුණ තරුණියන් මේ සා ෆෙස්බුක් වලට ප්‍රිය කරන්නේ ඇයිදැයි යන්න පිළිබඳව ඉකුත් කාලයේ සමීක්ෂණයක් කෙරුණි. එම
සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ හරි අපූරු කාරණාය. මේ සමීක්ෂණය කළේ සබරගමුව සරසවියේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ කථිකාචාර්යවරියක වන ගිහානී ද සිල්වා හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සංවර්ධන සහකාරිනී දනුෂිකා පේළිආරච්චිය.
ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරන තරුණ තරුණියන් පනස් දෙනෙකුට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියන් හා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා මේ සමීක්ෂණය කර ඇත. ඔවුහු ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික පවුල් පසුබිම් තිබෙන වයස අවුරුදු දහ අටත් තිස් පහත් අතරේ සිටින අය වෙති. ඒ පිරිස අතරේ සිටින සමහරු විවාහකයෝය. තවත් පිරිසක් ප්‍රේම සබඳතා පවත්වති. උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රැකියාවල නිරතවූවෝද සමීක්ෂණයට බඳුන් කළ පිරිස අතරේ සිටින්නෝය.
මේ සමීක්ෂණයේදී හෙළි වූයේ තරුණ තරුණියන්ගෙන් සියයට අනූ දෙකක් ෆෙස්බුක් සමග සබඳතා පවත්වාගෙන යන බවය. ඉතිරි සියයට අට ෆෙස්බුක්වලට යොමුවී ඇත්තේ ඊට ඇති අඩු උනන්දුව නිසාම නොව විවේකයක් නැති බැවිනි.
අප සමීක්ෂණයට යොදාගත් තරුණ තරුණියන් ෆෙස්බුක් සමග සබඳතාවන් පැවැත්වීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ඔවුන්ට සමාජයේ ඉහළ පැලැන්තිය සමග ගනුදෙනු කරන්නයි. මේ තත්ත්වය වැඩියෙන්ම දක්නට ඇත්තේ ග්‍රාමීය තරුණ තරුණියන් අතරයි. ඔවුන් ෆෙස්බුක් ඉනිමගක් ලෙස භාවිතා කරමින් සමාජයේ ඉහළට යන්න හදනවා. සමහරු කරන්නේ ව්‍යාජ මවාපෑමක්. ඒ මවාපෑම කරන්න තමන් ගැන අතිශයෝක්තියට නැගූ තොරතුරු මෙන්ම විශේෂ ඡායාරූප ෆෙස්බුක්වලට යොමු කරනවා. එසේ පවසන්නේ සබරගමුව සරසවියේ සමාජයීය හා විද්‍යා හා භාෂා පීඨයේ කථිකාචාර්ය ගිහානි ද සිල්වාය.
ඇගේ ඒ කතාව කී විට මට මතක් වූයේ අපේ ෆෙස්බුක් මිතුරෙකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඇතුළු බහුතර දේශපාලනඥයකුගෙන් කිසිවෙකු තමන් සමග ඡායාරුපයකට පෙනී සිටින ලෙස කීවොත් ඔවුහු ඊට මනාප වන්නේ ඡන්දදායකයන්ගේ අහිංසක ආසාව ගැන හිතාය. එවැනි අවස්ථාවලදී ඡායාරූප ගන්නා අපේ මිතුරා එය ෆෙස්බුක්වලට මුදා හරින්නේ මම තමයි ‍පොර නොකියා කීමටය. ෆේස්බුක් නැති කාලයේ හුන් අපේ තවත් මිතුරියක් දේශපාලනඥයන් සමග සිටින ඡායාරූප රාමුකර සාලයේ එල්ලා තැබුවේ ගෙදරට ගොඩවන කාටත් පෙනෙන පරිදිය. එනමුත් මේ වග නොදන්නා බොහෝ දෙනෙක් හිතන්නේ අපේ මිතුරා රාජ රාජ  මහා අමාත්‍යවරුන් සමග ඉතා කිට්ටු සබඳතාවක් ඇති බවය. අපේ මිතුරා පමණක් නොව ෆේස්බුක් ගිණුම්වලද මම ‍පොර වීමට විවිධ මවාපෑම් කරන මිතුරු මිතුරියෝ ඕනෑතරම් ඇත්තෝය.
කෙසේ නමුදු මේ සමීක්ෂණයේදී අනාවරණය වූ තවත් කාරණාවක් වන්නේ සමාජ ප්‍රශ්න ගැන කතිකාවක් ඇතිකර ගැනීමට තවත් පිරිසක් ෆේස්බුක් වේදිකාවක් කරගෙන ඇති බවය. ඉකුත් කාලයේ හලාල් විරෝධය සමග ෆේස්බුක්හි ප්‍රචාරය වූයේ සිංහල කඩවලට පමණක් යන ලෙසය. ඊට එරෙහි වූ තවත් පිරිසක් ෆේස්බුක්හි ගෙන ගියේ මේ රට බහුවාර්ගික බහු ආගමික රටක් බැවින් පටු පුද්ගලයන්ට තමන් සමග සබඳතා නොපවත්වන ලෙසය. මීට වඩා දුරදිග ගොස් ෆේස්බුක් සමාජ වේදිකාවක් වූ ආකාරය ගැන අපේ රටට අත්දැකීම් නැති වුණිද ඊජිප්තුවේ දේශපාලන පෙරළිය වූයේ ෆේස්බුක් වේදිකාවක් කරගනිමිනි.
ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන තරුණ තරුණියන් ඊට වැයකරන කාලය ගැන සමීක්ෂණයේදී අවධානය යොමු වී තිබුණි. තරුණ තරුණියන්ගෙන් බහුතරයක් එනම් සියයට පනහක පිරිසක් දිනකට පැයකට වැඩියෙන් ෆේස්බුක් භාවිත කරන බව එහිදී හෙළි විය. පුදුම හිතෙන කාරණාව එය නොවේ. තරුණ තරුණියන්ගෙන් සියයට පහළොවක් දිනකට පැය පහකට වඩා ෆේස්බුක් භාවිතයේ යෙදෙති. සමස්තයක් විදියට ගත්විට තරුණ තරුණියන්ගෙන් සියයට තිස් හතක් ෆේස්බුක් භාවිතා කරන්නේ රාත්‍රී කාලයේදීය. සීයට දෙකක පමණ සීමිත පිරිසක් මැදියම් රාත්‍රී පසුවී අලුයම දක්වාද ෆේස්බුක්  භාවිතා කරන බව එහිදී හෙළිවිය.
තමන්ගේ ෙදෙනික කටයුතු අතපසු කරමින් ෆේස්බුක් හි ඇලිගැලී සිටීම හේතුවෙන් පවුල් සබඳතාවලට විශාල බලපෑම් එල්ලවී තිබෙන බව කථිකාචාර්ය ගිහානි ද සිල්වා පවසන්නීය.
තමන්ගේ ෙදෙනික කටයුතු පසෙකලා ෆේස්බුක්වල ඇලීගැලි සිටීම මීට ප්‍රධාන හේතුවක්. උදාහරණයක් විදියට, පන්ති ගොස් සිටින දරුවා රැගෙන එන්නැයි බිරිය සැමියාට කී විට ඔහු කියනවා. මට බෑ ඔයා යන්න කියලා. හේතුව ඔහු ෆේස්බුක් භාවිතා කරමින් සිටීමයි.
සමහරු ඥාති සබඳතා මෙන්ම සමාජය සමග තිබෙන සබඳතා පැවැත්වීමට තිබෙන කාලය වෙන් කරන්නේ ෆේස්බුක්වලට. මේ හේතුවෙන් ඔවුන් පවුලෙන් සමාජයෙන් දුරස් වෙනවා. යුරෝපා රටවල්වල දක්නට තිබෙන ප්‍රවණතාවයක් වන්නේ ගෙවල් ඇතුළේත් සබඳතා පැවැත්වෙන්නේ ෆේස්බුක් වලින්. උඩ තට්ටුවේ ඉන්න දරුවාට රෑ කෑමට පහළට එන්න කියලා අම්මා පණිවුඩයක් යවන්නෙත් ෆේස්බුක් වලින්. කථිකාචාර්ය ගිහානි ද සිල්වා කියන්නීය.
ෆේස්බුක් පිළිබඳ මෑත කාලයේ රටේ තොටේ වැඩියෙන් කතා වූයේ එය 'සෙක්ස්' යන වචනය සමග ඈඳීම නිසාය. සමහර විවාහකයෝ තම ෆේස්බුක්  ගිණුම්වල සඳහන් කරන්නේ තමන් අවිවාහක බවය. ඒ තරුණියන් දැ‍ලේ දමා ගැනීමටය. මෙවැනි සිද්ධීන්වලට මුහුණදුන් තරුණියෝ රැසක්ම ඉකුත් කාලයේ අමාරුවේ වැටුණහ. මීට හය හත් මාසයකට ඉහතදී කැනේඩියානු බාලවයස්කාර දැරියක් සියදිවි නසා ගත්තේ සිය පෙම්වතාට ෆේස්බුක්වලින් පෙන්වූ තම නිරුවත ඔහු අන් අයටද බෙදාහැරි බැවිනි.
ඇතැම් ෆේස්බුක් ප්‍රේම සබඳතා, විශාල සමාජ ගැටලුවක්. තමන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ෆේස්බුක්  භාවිතා කරන කල්ලි කණ්ඩායම් සිටිනවා. බොහෝවිට ඔවුන්ට ගොදුරු වන්නේ බාල වයස්කාරියන්. දැන් ළාබාල දරුවන්ට පවා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක තිබෙනවා. තමන් සමග සබඳතා පවත්වන මිතුරාගේ පසුබිම නොදැනීම නිසා තරුණියන් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මෙවැනි දේ වැළැක්වීමට නම් දෙමාපියන් තමන්ගේ දරුවන් කරන කියන දේ ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතු බව කථිකාචාර්ය ගිහානී ද සිල්වා කියන්නීය.
ඈ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කාරණා නිසාම ෆේස්බුක් වූ කලී ප්‍රතික්‍ෂේප කළ යුතු දෙයක් නොවන බවය.
ෆේස්බුක්වලින් තමන්ගේ පැරණි මිතුරන් හමුවෙනවා. තමන් උනන්දුවක් දක්වන විෂය ක්‍ෂේත්‍ර ගැන අදහස් හුවමාරු කරගන්න තවත් පිරිසක් සමග අවස්ථාව ලැබෙනවා. හැබැයි මෙය සීමාවක් ඇතුව කළ යුතු වැඩක්. අපේ සමීක්ෂණයේදී හෙළි වූ කාරණාවක් තමයි සමහර                        ළමයි පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුරේදීම ලැප්ටොප් පරිගණකය හරහා ෆේස්බුක් සමග සජීව සබඳතා පවත්වනවා කියලා. මෙවැනි දේවල්වලින් ඔවුන්ගේ අධ්‍යාපනයට තිබෙන අවධානය අඩුවෙනවා. ඒ වගේම කාලය මුදල් නාස්ති වෙනවා. මෙවැනි ප්‍රශ්න තිබුණා කියලා අපට ෆේස්බුක් තහනම් කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කරන්න බෑ. මෙතැනදී අවශ්‍යවන්නේ ස්වයං වාරණයක්. දෙමාපියන් උපන්දිනේට තමන්ගේ දරුවාට පරිගණකයක් තෑගි දුන්නාට මදි. ඔහු හෝ ඇය පරිගණකයෙන් කරන්නේ මොනවාද කියලා විමසිල්ලෙන් සිටිය යුතුයි. දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ආගමික නායකයන්ට විශාල වගකීමක් මෙන්ම හැකියාවක් තිබෙනවා දරුවන් නරක දෙයින් මුදාගෙන හොඳ දේට යොමුකරන්න. එය නොකර ෆේස්බුක්වලට බැනීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න නොහැකි බව ඈ කියන්නීය.
ෆේස්බුක් යන ඉංගිරිසි වදනෙහි සිංහල අරුත මුහුණු ‍පොතය. ලෝකය දකින්නට මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට මුහුණු ‍පොත හොඳ සන්නිවේදන මෙවලමක් බවට සැක නැත. එය හොඳ වන්නේ මුහුණේ දැළි නොගෑවෙන සේ මුහුණු ‍පොත භාවිතා කළහොත් පමණක් බවට නොකියාම බැරිය.

සටහන: මිහිරි ෆොන්සේකා

No comments:

Post a Comment