Monday 3 December 2012

තරුණයින්ගේ ඉල්ලීම් දිනාගැනීමට අරගල දියත් කරනවා - බිමල් රත්නායක

ආණ්ඩුව මෙවර අයවැයෙන් තරුණ තරුණියන් මුළුමණින්ම අමතක කර ඇති බවත් එම තරුණ තරුණියන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අරගල දියත් කළ යුතුව ඇති බවත් සමාජවාදී තරුණ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මේ බව පැවැසුවේ අද (03) බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූ අදහස් පහත පළවේ. ‘‘මෙවර අයවැයෙන් තරුණයින් පිළිබඳව කිසිවක් සඳහන් වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තරුණයින්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහාත් මේ අයවැයෙන් කිසිවක් යෝජනා කර නැහැ. එමෙන්ම තරුණයින්ගේ රැකියා ප‍්‍රශ්නය සම්බන්ධයෙන්ද ආණ්ඩුව මෙම අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැහැ. 2011 ජන සංඛ්‍යාලේඛනය අනුව ගත්තාම මෙරට අවුරුදු 15-35 අතර තරුණ ජනගහනය ලක්ෂ 75ක් පමණ සිටිනවා. ආණ්ඩුවේම සංගණනයන්ට අනුවම ගත්තාම මෙම ප‍්‍රමාණය තහවුරු වෙලා තිබෙනවා. අපේ රටේ වර්ෂයකට තුන්ලක්ෂ පනස්දාහක් පමණ දරුවන් පිරිසක් බිහිවෙනවා. ඉන් අති බහුතරයක් දෙනා අපේ රටේ සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවන්. ඒ කියන්නේ එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපන වටපිටාව ගත්තොත්... එම තුන්ලක්ෂ පනස්දාහෙන් හරි අඩක් එනම් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් දෙනා පමණයි සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්නේ. ඒ වගේම එම තුන්ලක්ෂ පනස්දාහක පිරිසෙන් 2/3ක් පමණ පිරිසක් පමණයි උසස් පෙළ සමත් වෙන්නේ. එලෙස උසස් පෙළ සමත් වෙන පරිසෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට හැකිවන්නේ 3%ක පමණ පිරිසකට පමණයි. උසස් පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු කී දෙනෙක් විශ්වවිද්‍යාලවල දොරටුව කුඩා නිසා ඇතුල් වීමට නොහැකිවී ඉන්නවද? ආණ්ඩුව කියන පරිදි සාමාන්‍යයෙන් වර්ෂයකට විසිදාහක පමණ පිරිසකට පමණයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. එම විසිදාහස කියන්නේ උසස් පෙළ විභාගයට දෙවන සහ තුන්වෙනි වතාවටත් පෙනී සිටි ශිෂ්‍යන් ඇතුළුවයි. ලෝකයේ අඩු අධ්‍යාපනයක් ලැබෙන රටවල් 10න් එකක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. එනිසා අපේ රටේ අධ්‍යාපනයේ අවස්ථා පුළුල් විය යුතුයි. රටේ ජනාධිපතිවරයා විදියට, ප‍්‍රතිපත්ති සකස් කරන්නා ලෙස, රටේ මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැහැ. අපට යම් බලාපොරොත්තුවක් තිබුණා එහෙම යෝජනාවක් මේ අවයැයේ තියෙයි කියලා. මේ රටේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පසුව රජයේ වැඩපිළිවෙලක් සහිත දැක්මක් සහිතව, විශ්වවිද්‍යාලයක් ආරම්භ කර නැහැ අවුරුදු 34ක් ගතවන තුරු. අනුබද්ධ විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කළා. නමුත් ඒවා ගම්උදාවට හදන ලද ගොඩනැගිලිවල, අත්හැර දමන ලද ස්ථානවල ස්ථාපිත කරපු පපඩම් විශ්වවිද්‍යාලයි. ඒවත් ශිෂ්‍යන්ගේ අරගල නිසා ආණ්ඩුව විසින් ආරම්භ කළාට කිසිදු දැක්මක් වැඩපිළිවෙලක් සහිතව ආරම්භ කරන ලද ඒවා නොවෙයි. ලෝකයේ ගත්තාමත් අවුරුදු 34කින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කර නැති එකම රට ශී‍්‍ර ලංකාව වෙන්නත් පුළුවන්. වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ දෙවන ධුර කාලය ඉතා උත්කර්ශවත් ආකාරයෙන් සැමරුවා. අවුරුදු 08ක් ගතවෙලා තියෙනවා. ඒ අවුරුදු 08 තුළ උසස් පෙළ සමතුන් ආසන්න වශයෙන් දශලක්ෂයක් පමණ එළියට දාලා තිබෙනවා. විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලවල ඇතුල් වෙන්න ඔවුන්ට අවස්ථාව නොලැබුණා. මේ රටේ විශ්වවිද්‍යාල සංවර්ධනයට යෝජනා නැහැ. සුදුසුකම් ලැබිලත් විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට නොලැබීම මහා ඛේදවාචකයක්. මෙරට තරුණ ජනගහනය ලක්ෂ 75ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් ලක්ෂ 20ක් පමණ කිසිදු රැකියාවක් කරන්නේ නැහැ. රැකියා කරන ලක්ෂ හතලිහක පමණ පිරිසක් ඉන්නවා. ඔවුන් නිරත වන රැකියා ඉතා පීඩාකාරී තත්වයකයි තිබෙන්නේ. විශේෂයෙන්ම ඇඟලූම් කමහල් තුළ සේවය කරන තරුණියන්. ඒ වගේම සුපර් මාර්කට්, ප‍්‍රදර්ශනාගාරවල, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවල, සහ ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන තරුණ තරුණියන්ගෙන් බහුතරයක් උසස් පෙළ සමතුන්. ඔවුන් මහත් පීඩාවකින් රැකියාවේ නිරත වෙන්නේ. මොවුන්ගෙන් බොහෝ පිරිසක් උසස් පෙළ සමතුන්. ඔවුන්ට ලැබෙන වැටුප ඉතාම අඩු අගයක් එනිසා ඔවුන් කෙටි කාලයකින් එම රැකියා අත්හරිනවා. උගත්කමින් වැඩි ශ‍්‍රමිකයින් විශාල ප‍්‍රමාණයක් ඇඳුම් මහන්නේ ලංකාවේ කියලා ඇඟලූම් ක්ෂේත‍්‍රයේ නිරතවන විදේශිකයෙක් කියා තිබුණා මට මතකයි. මේ පීඩනය නිසා රැකියාව අහිමිවන සේවකයින්ට ආණ්ඩුවෙන් කිසිදු දීමනාවක් ලබාදෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා වන මුදල් ඇමති තරුණයින් ගැන අයවැයේ කිසිදු සඳහන් කරන්නේ නැහැ. හැබැයි එක සඳහනක් තිබෙනවා. 2014 පැවැත්වෙන තරුණ ඇමතිවරුන්ගේ සමුළුවක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කළා කියලා. ඒ වගේම තමයි තරුණයින් රැකියාවිරහිතභාවය නිසා නීති විරෝධී ක‍්‍රමවලින් විදෙස් ගතවීමට ගොස් සිරගත වන අවස්ථා බහුලව දකින්නට පුළුවන්. මීගමුවේ බන්ධනාගාරයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ එවැනි තරුණයින්. දැනට සිරකරුවන් ලෙස 1200ක පමණ තරුණයින් පිරිසක් සිටිනවා. තවත් පිරිසක් මෙම අසහනය නිසා සියදිවි නසාගැනීම් සිදුකරගන්නවා. ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩි රටවල්වලින් පස්වැනි තැන හිමිවන්නේ ශී‍්‍ර ලංකාවටයි. නමුත් තරුණ තරුණියන්ගේ මෙම ගැටලූ පිළිබඳ නිසි අවධානයක් යොමු වෙලා නැහැ. ඒ අතරේ තරුණ කටයුතු ඇමතිවරයා කියනවා තරුණයින් වෙනුවෙන් ප‍්‍රඥප්තියක් හදන්න ඕනෑ කියලා. මීට කලින් හිටපු ඇමතිවරුත් එහෙම ප‍්‍රඥප්ති හැදුවා. ඒවා අට්ටි ගණන් ගොඩගහලා තිබෙනවා. කෝටි ගණන් වියදම් කරලා පොත් අච්චු ගහන එක විතරයි කරන්නේ. පස්සේ ඒවා පැත්තකට දාලා තියෙනවා. එක අවස්ථාවක ලක්ෂ ගණන් වියදම් කරලා පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය තරුණ ප‍්‍රඥප්තියක් හැදුවා. පස්සේ හෙළිදරව් වුනා එය දකුණු අපි‍්‍රකාවේ එකක් සම්පූර්ණයන්ම කොපිකරලා හැදුවා කියලා. 2007 සමාජවාදී තරුණ සංගමය ලෙස අපි තරුණ ප‍්‍රඥප්තියක් එළි දැක්වුවා. එයින් 10%ක් ගැන ආණ්ඩුව අවධානයට ලක් කළොත් තරුණ ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයක් විසඳන්න පුළුවන් වෙයි. ජනාධිපතිවරයා මේ අයවැයෙන් කරලා තියෙන්නේ තමන්ගේ පුතාට රේස් කාර් දුවන්න පුළුවන් ජීවිතයක් නිර්මාණය කරලා දීපු එකයි. මේ වෙනකොට කෝටි ගණන් වියදම් කරලා ගෝල්පේස් පිට්ටනිය රේස් කාර් දුවන්න පුළුවන් විදියට ගොඩ නගමින් ඉන්නවා. එනිසා මේ මොහොතේ තරුණයින්ගේ ඉල්ලීම් දිනාගැනීමට අරගල දියත් කළ යුතුව තිබෙනවා. එනිසා අපි ලබන 06 වෙනිදා දශක 03කට පසුව දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් සහ තරුණ රැලියක් පවත්වනවා. මෙරට පීඩනයට පත්වෙලා සිටින තරුණ තරුණියන් වෙනුවෙන් හඬ නගන්න, අරගල කරන්න අලූත් දේශපාලන වේදිකාවක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. 1980දී තරුණයින් වෙනුවෙන් පවත්වපු රැලියකින් පසුව ලංකාවේ මේ වෙනතෙක් තරුණයින් ගැන කතා කරන්න දේශපාලන වේදිකාවක් ගොඩනගලා නැහැ. එනිසා එම අවස්ථාව තරුණයින්ට උදාකරලා දෙන්න රටේ අනාගතයට තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාදෙන්න දේශපාලන වේදිකාවක් අපි ගොඩ නගනවා. තරුණ තරුණියන්ට අපි කියනවා. අරගලයකින් තොරව අයිතීන් දිනන්න බැහැ. වැඩි වැඩියෙන් අරගල කළොත් වැඩි වැඩියෙන් අයිතීන් දිනන් පුළුවන්. ඒ නිසා එම අරගලයට, තරුණ රැලියට සම්බන්ධ වෙන්න කියලා මෙරට තරුණ තරුණීයන්ගෙන් ඉල්ලා සිටිනවා'' මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සමාජිකයින්වන එරංග ගුණසේකර මහතා සහ ගයාන් ජානක මහතාද සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment