Friday 7 June 2013

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස

සබරගමු විශ්වවිද්‍යාලය තුළ පවතින ශිෂ්‍ය අර්බුදය මේ වන විට උග්‍ර වී තියෙනවා. සිසුන් මේ තරම් කලහකාරී වීමට බලපෑ හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? මේ අර්බුදයේ මුල ආණ්ඩුවත්, එස්.බි. දිසානායක ඇමැතිවරයාත් ඔහුට අනුව හැසිරෙන සබරගමු සරසවියේ දේශපාලනීකරණයවූ පරිපාලනයත්, ඇමැතිවරයා සබරගමුව සරසවිය දකින්නේ බන්ධනාගාරයක් ලෙසයි. ඔහු එහි බන්ධනාගාර අධිකාරි ලෙස සිතාගෙන උපකුලපති ඇතුළු ජේලර්ලා කිහිප දෙනෙක් පත්කරලා තිබෙනවා. ඔවුන්ට අනුව සිසුන් ඔවුන්ගේ සිරකරුවෝ. කොහොමටත් ඇමැතිවරයාට තිබෙන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම්වලට වඩා බන්ධනාගාරයේ අත්දැකීම් නිසා මේ තත්ත්වය ගැන පුදුම විය යුතු නැහැ.
සබරගමුව සරසවියේ සිසුන්ට ඉගෙන ගැනීමට සහ ජීවත් වීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ගැටලු රැසක් තිබෙනවා. ඒ අතර මේ වර්ෂයේදී සිසුන්ගෙන් අයකරන ලියාපදිංචි ගාස්තු සහ නේවාසිකාගාර ගාස්තු 500කින් ඉහළ දැමුවා. එයත් වසරින් වසර එකතු කිරීමට නියමිතයි. 2011/2012 අධ්‍යයන වර්ෂයට සබරගමුවේ පීඨ පහට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය 32කින් හෙවත් සිසුන් 475කින් කප්පාදු කර තිබෙනවා. ශිෂ්‍ය සංගම් හඬ නැගුවේ මේ අයිතිවාසිකම් දිනාගන්න. එවිට එස්.බි. ඇමැතිවරයාගේ උපදෙසින් විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරන්න කටයුතු කළා. ශිෂ්‍ය සංගම් රැස්විය යුතු දිනය සහ වේලාව ගැන පවා පරිපාලනය නීති දැම්මා. ශිෂ්‍යයින්ට සාමූහිකව සාහිත්‍ය උත්සවයක්, ආගමික කටයුත්තක් කිරීමට ඇති නිදහසත් අහිමි කළා. මේ මර්දන නීති ගැන සාකච්ඡා කරන්න ශිෂ්‍ය සංගම් රැස්වීමක් පැවැත්වීම හේතුකරගෙන මාර්තු 14දා සිට මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංගම් 6ක් තහනම් කළා. ශිෂ්‍ය නායකයන් පස් දෙනකුගේ දින නියමයක් නොමැතිව පන්ති තහනම් කළා.
එතැන ඉඳලා පසුගිය මාස දෙකහමාරක් තිස්සේ තමන්ගේ අහිමි වුණ ඉගෙන ගැනීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස දිනාගන්න ශිෂ්‍යයෝ සටන් කළා. විශ්වවිද්‍යාලය තුළ උද්ඝෝෂණය කළා. රටේ ප්‍රධාන නගරවල පෙත්සම් බැනර් අත්සන් කළා. පරිපාලනයට පෙත්සම් භාර දුන්නා. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ශිෂ්‍යයින් වෙනුවෙන් ගම්වාසීනුත් උද්ඝෝෂණ කළා. සත්‍යග්‍රහ කළා. උපවාස කළා. මේ කිසිවකට විසඳුම් නැති තැන තමයි ශිෂ්‍යයෝ 04 දෙනෙක් පසුගිය මැයි 28 වනදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ. ඒත් ඇමැතිවරයා හෝ සරසවි පරිපාලනය තමන්ගේ මුරණ්ඩු උද්ධච්ච තීන්දු අතහැරියේ නැහැ. උපවාස කරපු තමන්ගේ සහෝදර ශිෂ්‍යයින් දෙදෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වෙද්දී තවදුරටත් බලා සිටිය නොහැකි ශිෂ්‍යයින් පඹහින්න හන්දිය වසාගෙන විශාල උද්ඝෝෂණයක් දියත් කළා.
‍පොලීසිය, ගුවන් හමුදාව, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය යොදවා ආණ්ඩුව තිරස්චීන ලෙස පහර දුන්නේ මේ සාධාරණ උද්ඝෝෂණයටයි. සාම්ප්‍රදායික කඳුළු ගෑස්, බැටන් ප්‍රහාරවලට අමතරව අවට ගෙවල්වල වැට‍පොලු කඩාගෙන ‍පොලීසිය ශිෂ්‍යයින්ට ගැහුවා. ‍පොලිස් කාන්තාවොත් වැටමාර ‍පොලු උස්සාගෙන ශිෂ්‍යයෝ පස්සේ එළවන හැටි මාධ්‍ය වාර්තා කළා. පන්ති තහනම් කළ සිසුන්ට විභාගයට ලියන්න අයිතිය දෙන්න කියලා සාමකාමී උද්ඝෝෂණයක නිරතවුණු නිරායුධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආණ්ඩුවේ දේශපාලන ‍පොලීසිය සැලකුවේ එහෙමයි. තමන්ගේ ‍පොලීසියේ නිලධාරීන් දෙන්නෙකුට පහරදීපු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පැමිණ භාරවනතුරු අත්අඩංගුවට ගන්න බැරිවුණා. රත්නපුරේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයා බස් පුරවාගෙන ‍පොලීසිය ගෙනත් සිසුන්ට ගැහුවා.
  ඔවුන්ට ගැටලු අර්බුද ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවස්ථාවන් තිබියදී සිසුන් ආවේගශීලීව මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ හැකිද?
මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිසුන් විශ්වවිද්‍යාල පරිපාලනය සමග සාකච්ඡා කිරීමට බොහෝ උත්සාහ කළා. අවසානයේ සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහය නතර කිරීමටත්, පරිපාලනය සිසුන්ට විභාග අයිතිය ලබාදීමටත් එකඟ වුණා. විශ්වවිද්‍යාල පරිපාලනය මේ එකඟතා කැඩුවා. ඔවුන් එලෙස අත්තනෝමතිකව හැසිරෙද්දී සිසුන්ට වෙන ගතහැකි ක්‍රියාමාර්ගයක් තිබුණේ නෑ.
අනෙක් පැත්තෙන් පසුගිය 24 වනදා වෙසක් ‍පෝය ලබනවිටම පාන්දර සරසවිය තුළට කඩාවැදුණ නොම්මර තහඩු වසාගත් ඩබල් කැබ් රථයක සිටි මුහුණු ආවරණය කරගත් පිරිසක් සත්‍යග්‍රහයේ සිටි සිසුන්ට තර්ජනය කළා. එතැනදී අහසට වෙඩි තබා සරසවි ගේට්ටුවෙන්ම පිටවෙලා ගියා. මේ සිදුවීමටවත් විශ්වවිද්‍යාල පරිපාලනය හෝ ‍පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. තමන්ගේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ  ජීවිත ගැන තුට්ටුවකට මායිම් නොකරන පාලනාධිකාරියක් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳන්නේ නැති බව ඉතා පැහැදිලියි.
 කෙසේ වුවත් මේ පවතින අර්බුදයන් නිර්මාණය කර ඇත්තේ දේශපාලන පක්ෂ විසින් බලහත්කාරීව කෙරෙන උසිගැන්වීම් මත සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙසයි ආණ්ඩුවේ ඇමැතිවරු පවසන්නේ. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
සබරගමු සරසවිය දේශපාලනීකරණය කර ඇත්තේ ආණ්ඩුවයි. එස්.බි. දිසානායක ඇමැතිවරයා විශ්වවිද්‍යාල පරිපාලනය සහ ආණ්ඩුවට ගැති සිසුන් පිරිසක් එකතු කරගෙන 2012 නොවැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කඳවුරක් තිබ්බා. එතැනදී ශිෂ්‍ය සංගම් මර්දනය කරන්න සාකච්ඡා කරපු හැටි ගැන අපි ළඟ සාක්ෂි තිබෙනවා.
සබරගමු සරසවියේ ඇත්තේ තනිකරම දේශපාලනීකරණයවූ පරිපාලනයක්. ඒක එස්.බි. ඇමැතිතුමාගේ බූදලයක් වගෙයි. සිසුන් 50ක් පන්ති තහනම් කරන්න යයි ඇමැති කිව්වොත් 100කගේ පන්ති තහනම් කර ඇමැති සතුටු කරන ඇමැතිටත් වඩා රාජපාක්ෂික පරිපාලනයකුයි එහෙ තියෙන්නේ.
ඇමැතිවරයායි සරසවි පරිපාලනයයි මේ ආකාරයට ශිෂ්‍යයන්ගෙන් පන්න පන්න පළිගන්න හේතුවත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් අසාර්ථක වීම. පසුගිය පෙබරවාරි පළමුවෙනිදා සබරගමුව සරසවියේ විශාල දේශපාලන සන්දර්ශනයක් බැසිල් රාජපක්ෂ සහ එස්.බි. දිසානායක ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙන් පවත්වන්න පාලනාධිකාරිය සැලසුම් කළා. එහිදී බාගෙට හදපු නේවාසිකාගාර සංකීර්ණයකුයි, තවමත් වැඩ නිම නොකළ ක්‍රීඩා පිට්ටනියයි විවෘත කරන්න සූදානම් වුණා. සිසුන් විරුද්ධ වුණේ මේ බොරු ‍ප්‍රෝඩාකාරී සංදර්ශනයට. මෙයින් කෝපයට පත්වුණ උපකුලපති ඇතුළු පරිපාලනය එතැන් සිට ශිෂ්‍ය සංගම් සහ ශිෂ්‍ය නායකයින් මර්දනය වේගවත් කළා. ඒ නිසා මේ අර්බුදයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ආණ්ඩුවයි.
 පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් මෙම අර්බුදය ආරම්භ කර ඇති බවටද ආණ්ඩුවේ ඇමැතිවරු චෝදනා කරනවා. මේ චෝදනාව තුළ සත්‍යක් තිබෙනවාද?
ඔවුන්ට ශිෂ්‍යයෝ එළියට බස්සන්න තියා තමන් එක්ක ඉන්න කීප දෙනාත් බේරගන්න බැරි අවුලකයි ඉන්නේ. දේශපාලනිකව අනාථ වුණු කල්ලියකට මේ ප්‍රශ්නය සම්බන්ධ කරල ඒ සාධාරණ ශිෂ්‍ය අරගලය හෑල්ලු කරන්න ඉඩ දියයුතු නෑ. එස්.බි. දිසානායක ඇමැතිවරයා ඔවැනි චෝදනාවක් එල්ල කරන්නේ මේ සටනට ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන සේවකයන්ගේ, ගම්වාසීන්ගේ ඇතුළු ‍පොදු මහජනතාවගේ සහය ලැබිම වළක්වන්න. සබරගමුවේ අරගලය එහි ශිෂ්‍ය නායකයන් විසින් මෙහෙයවන ‍පොදු ශිෂ්‍ය අරගලයක් මිස කාගේවත් දේශපාලන කොන්ත්‍රාත්තුවක් නොවන බව අපි පැහැදිලිව කියනවා.
 කෙසේ වුවත් මෙය දේශපාලන මැදිහත්කමක් මත කෙරෙන්නක් යැයි කෙරෙන ප්‍රකාශ බැහැර කරන්නටත් බැහැ. මෙයට ජවිපෙ සහයෝගය දක්වනවාද?
ලාංකීය භූමියේ සිදුවන ඕනෑම සාධාරණ අරගලයකට ජවිපෙ සහයෝගය දෙනවා. නිදහස් අධ්‍යාපනය සුරැකීමට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය ප්‍රගතිශීලී අරගලය සමග ජවිපෙ කවදත් ඉදිරියෙන් සිටියා. ඒ වගේම බලයේ සිටි ආණ්ඩුත්, ඔවුන්ට උදවු දෙන කුඩා කුඩා කල්ලිත් ශිෂ්‍ය ව්‍යාපාරය භේදභින්න කර අබලදුබල කර විනාශ කිරීමට දතකන විට එයට එරෙහිව ‍පොදු ජනබලය ඒකරාශි කළේ ජවිපෙයි. මේ ශිෂ්‍ය අරගලයේදීත් ජවිපෙ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ සහ ශිෂ්‍ය මර්දනයේ ආණ්ඩුවේ වුවමනාවට එරෙහිව ශිෂ්‍යයින් සමග සිටිනවා.
 අන්තවාදී දේශපාලනය කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසටත්, කඩාකප්පල්කාරී හා විනය විරෝධී කටයුතුවල නිරතව සිටින සිසුන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට තමන් උපදෙස්දී ඇති බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. සිසුන් ඒ ආකාරයට හැසිරෙනවා නම් ආණ්ඩුවක් එවැනි පියවර ගැනීම වරදක් වන්නේ කොහොමද?
ආණ්ඩුව අන්තවාදී දේශපාලනය කරන සිසුන් යැයි හඳුන්වන්නේ කාවද? දැන් ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ආගමික භේදය වපුරන ආගමික අන්තවාදීන්ද? නැත්නම් ජාතික සමගියට බාධා කරන උතුරේ හෝ දකුණේ ජාතිවාදීන්ද? මේ බව ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. සබරගමුවේ පන්ති තහනමට ලක්වූ සිසුන් කිසිවෙක් කිසිදු කඩාකප්පල්කාරී හෝ විනය විරෝධී කටයුත්තක නිරතවී නැහැ. ඔවුන් සටන් කළේ තමන් වෙනුවෙන් නොවෙයි. හෙට දිනයේ සරසවියට පිවිසීමට සූදානම් වන ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් ආණ්ඩුවේ ඇමැතිවරු බඩගෝස්තරවාදී සටන්වල නිරතවෙද්දී සබරගමුවේ ශිෂ්‍යයා ‍පොදු සමාජ යහපත වෙනුවෙන් සටන් කර තිබෙනවා.
අනෙක් අතට වීරවංශ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට බලිතොවිල් නැටීම කඩාකප්පල්කාරී වැඩක් නොවන විට, කොළඹ නගරය වසා ආණ්ඩුවේ ඇමැතිවරු විදුලිබිල වැඩි කළාට කමක් නැතැයි පෙළපාලි යෑම කඩාකප්පල්කාරී වැඩක් නොවන විට තමන්ගේ සහෝදර ශිෂ්‍යයින් 4 දෙනකුගේ ජීවිත වෙනුවෙන් පාරක් වසා උද්ඝෝෂණය කිරීම පමණක් කඩාකප්පල්කාරී වැඩක් වන්නේ කෙසේද?
 ඔබලා දිගින් දිගටම කරන චෝදනාවක් වන්නේ උසස් අධ්‍යාපන ඇමැතිවරයාත්, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලත්, ආණ්ඩුවත් අසාධාරණ හා අත්තනෝමතික ලෙස ශිෂ්‍ය සංගම් තහනම් කිරීමටත් ශිෂ්‍ය නායකයින් දඩයම් කිරීමටත් එමෙන්ම සිසුන්ට එරෙහි මර්දනීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඇත්තටම මේ ආකාරයට ශිෂ්‍යයින් මර්දනය කිරීමට ආණ්ඩුවට ඇති වුවමනාව කුමක්ද?
මේ ආණ්ඩුව කරගසාගෙන යන්නේ එජාප ආණ්ඩුව ඇරඹූ ආර්ථික ප්‍රතිපත්තියමයි. ලෝක බැංකුවට සහ මූල්‍ය අරමුදලට යටවී අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලියමයි. 1948න් පසු අධ්‍යාපනයට වෙන්කරන අඩුම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමෙන් එහාට ගොස් මේ ආණ්ඩුව රජයේ වෛද්‍ය පීඨවල උපාධිත් රුපියල් ලක්ෂ 75 බැගින් විකිණීම අරඹා තිබෙනවා. මේ කොන්ත්‍රාත්තුවට හරියටම කරගසා සිටින ඇමැතිවරයකුත් රාජපක්ෂ ජනාධිපතිවරයාට හමුවී තිබෙනවා. ලෝක බැංකු හාම්පුතුන් ඉදිරියේ තමන් දීපු ‍පොරොන්දු ඉටුකරන්න තිබෙන බාධා ඉවත් කිරීම ජනාධිපතිවරයා එස්.බි. දිසානායක ඇමැතිවරයාට භාරදී තිබෙනවා. ඔහු ගහලයෙක් වගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හිස ගසා දමමින් තිබෙනවා. ඇමැතිවරයාත් තමන්ට ගැලපෙන උපකුලපති නඩයක් නඩත්තු කරනවා. මේ මර්දනයේ මුල එයයි.
සාකච්ඡා කළේ - පද්මිණි මාතරගේ

No comments:

Post a Comment