Wednesday 19 June 2013

සිසු සිසුවියන්ට සහන මිලට නවාතැන් දෙන ගම්පහ ලැගුම්හල්

අප රටේ ඇතැම් ප්‍රධාන නගරවල සේම උපනගරවලද  ලැගුම්හල් බහුලව දක්නට පුළුවන.  ඒ නොයෙකුත්  හේතූන් මුල් කර ගනිමිනි.  අනුරාධපුරය, මහනුවර ආදී  නගරවල ලැගුම්හල් වැඩිම  ගණනක් දක්නට ලැබෙනුයේ  ඒවා ලෝක  ප්‍රසිද්ධ  පූජා නගර බැවිනි.  මීගමුව නගරයේ සහ නගරාශ්‍රිත ප්‍රදේශවල ද  ලැගුම්හල් සෑහෙන සංඛ්‍යාවක් තිබේ. ඒ මීගමුව  සුප්‍රකට  සංචාරක පුරයක් බැවිනි. කුරුණෑගල  නගරය හා ඒ අවට ද ලැගුම්හල් වැඩිපුර සංඛ්‍යාවක් ඇත. කුරුණෑගල මංසන්ධි  නගරයක් වීම  ද ඊට ප්‍රධාන හේතුවකි. නමුදු ගම්පහ ඉහත සඳහන් එකම අයුරකින්වත්   සුවිශේෂත්වයට පත් නගරයක් නොවේ. නමුදු ගම්පහ මහනගර සභා සීමාව  තුළ පමණක් බලපත්‍ර සහිත  ලැගුම්හල් තිස් දෙකක්ම තිබේ. ගම්පහ නගරය හා තදාසන්න ප්‍රදේශ ද සැලකිල්ලට ගත හොත් මෙම සංඛ්‍යාව  දෙගුණය ද ඉක්මවයි. විශේෂයෙන් ගම්පහ ජාඇල  ප්‍රධාන මාර්ගය සහ ඒ අවට පමණක් ඇති ලැගුම්හල් ප්‍රමාණය  විස්සකට ද boarding-houseඅධිකය. යක්කල -  කිරිඳිවැල මාර්ගය සහ ඒ ආශ්‍රිතව  ඉන් අඩක් පමණ වන ලැගුුම් ‍පොළවල් සංඛ්‍යාවක් තිබේ. අප මේ සඳහන් කොට ඇත්තේ  ගම්පහ ප්‍රදේශයේ  ඇති බලපත්‍ර   සහිත ලැගුම්හල් පිළිබඳව  පමණි. එලෙස ලැගුම්හල් වශයෙන් ලියා පදිංචි කොට ඇති වෙනත් නවාතැන්   ‍පොළවල්ද සැලකිල්ලට ගතහොත්  මෙම සංඛ්‍යාව  සියය ද ඉක්මවනු ඇත. මේ සියල්ලෙහිම  ඇති යහන් ප්‍රමාණය  ආසන්න වශයෙන් ගතහොත් පන්සියයකට වැඩි මිස අඩු නොවේ.   ඒ අනුව පූජා නගරයක්, සංචාරක පුරයක්, මංසන්ධි නගරයක් නොවන ගම්පහ ප්‍රදේශයේ මේ සා ලැගුම්හල් ප්‍රමාණයක් පවත්වා ගෙන යාමට නම් ඊට සරිලන සේවාලාභීන්   පිරිසක් ද මේවාට පැමිණිය යුතුය. තවත් පැහැදිලි වශයෙන් කිවහොත් ඔවුන් මෙම යහන්වල සැතපිය යුතුමය.
 
ගම්පහ මහනගර  සභා සීමාව තුළ ඇති ෆාමසිවල අලෙවි කරන උපත් පාලන පෙති සහ උපකරණවලින් සියයට පනහකටත් වඩා මිලදී ගනුයේ ගම්පහ නගරයේ ටියුෂන් පන්තිවලට එන වයස අවුරුදු දහසයත්  විසිහතරත් අතර තරුණ පිරිස් බවට   ගම්පහ නගරාධිපති  එරංග සේනානායක මහතා කියයි. ඔහුගේ ප්‍රකාශයේ යම් සත්‍යයක් සේම බරපතළ බවක් ද ඇති බව අපට පෙනී යන්නේ ඉහත සඳහන් පසුබිම් කරුණු හා සලකා බලන විටය. 

 
ඒ අනුව දැනට තිස් දහසකට ආසන්න සිසු සිසුවියන් ප්‍රමාණයක් ටියුෂන්
අධ්‍යාපනය ලබන ගම්පහ ආශ්‍රිත මෙම  අඳුරු පැතිකඩ  සම්බන්ධයෙන්ද ගවේෂණයක් කළ යුතු යැයි අපි සිතුවෙමු. ඒ ‍පොදුවේ මෙම වයස් පරාසයේ දරුවන්ගේ මව්වරුන් වන ඔබගේ සංතීක්ෂණ අවධානය උදෙසාය. ගම්පහ නගරයේත් ඒ ආශ්‍රිත  ප්‍රදේශවලත් මෙම ලැගුම්හල් සම්බන්ධ එක්තරා උප සංස්කෘතියක් තිබේ. මෙම ලැගුම්හල් සම්බන්ධ ව්‍යාපාරික  යාන්ත්‍රණය පවත්වාගෙන යාම සඳහා එම  ලැගුම්හල් පවත්වාගෙන යන්නවුන්ට යම් යම් ප්‍රමාණවලින්   එම උප සංස්කෘතියට නතුවීමට සිදුව ඇත. මෙහිදී අපට දැන ගන්නට ලැබුණු  අන්දමට ගම්පහ  ‍පොලිස් බල ප්‍රදේශය තුළ ලංකා සංචාරක   මණ්ඩලයේ   අනුමැතිය ලත් ආගන්තුක නිවාස දහතුනක් තිබේ. සෙසු සියල්ල පවත්වා ගෙන යන්නේ ගම්පහ මහනගර සභාව  සහ සෙසු පළාත් පාලන ආයතන මගින් ලබා ගන්නා වාර්ෂික බලපත්‍ර  යටතේය. සෙසු ඒවා අනවසර ලැගුම්හල් වශයෙනි.

 
තානායමක හෝ ආගන්තුක  නිවාසයක ගාස්තු නියම වනුයේ  පැය විසිහතරක්, විසිදෙකක්, දහඅටක් වැනි නිශ්චිත උපරිම කාලයක් වෙනුවෙනි. එහෙත් පැය දොළහක්   අටක් වැනි කාල   සීමාවක් නිශ්චය කොට ගාස්තු අය කෙරෙන   ආගන්තුක නිවාස ද අප රටේ තිබේ.  නමුදු ගම්පහ නගරය සහ ඒ ආශ්‍රිත ඇතැම්  ලැගුම්‍පොළවල  ගාස්තු නියම වනුයේ එලෙස දින හෝ වරු වශයෙන් සලකා නොවේ. කාලය පැය වශයෙන් ගණනය කරමිනි. අපගේ මෙම විමර්ශනයේදී හෙළි වූ අන්දමට එවන් සමහර ලැගුම්හලක පැය දෙකක පමණ කාලයක් රැඳී සිටීම  සඳහා අය කරනුයේ රුපියල් හාරසියයක් වැනි මුදලකි.  ලැගුම්හල් හෝ නවාතැන් ‍පොළවල් වශයෙන් බලපත්‍ර  හිමිකර ගෙන ඇතත් සැබැවින්ම  මේවායෙහි    සිදුවනුයේ  මේවාට පැමිණෙන ජෝඩුවලට නවාතැන් පහසුව සැපයීමට වඩා ඔවුනට වෙනයම්   කටයුත්තක්  කරගෙන යාමට අවශ්‍ය අවකාශය හා කාලය ලබාදීම    බව පෙනේ.   අපගේ විමසුමට ලක් වූ අන්දමට හුදු කාමර සැපයීමට පමණක් සීමා වී ඇති මෙම ලැගුම්හල්වලට පැමිණෙන ආගන්තුකයන් සඳහා කිසිදු    සේවා පහසුකමක් හිමි නොවේ. මේ බොහෝ ලැගුම්හල්වල කාර්ය මණ්ඩලයක් වත් නැත. හිඳිනුයේ මුදල් ලබා ගැනීම සඳහා එක් අයකු හෝ දෙදෙනෙකු පමණි. අමුත්තන්ට සැපයෙන සේවා පිළිබඳව තබා ආගන්තුක නිවාසයක් යනු කුමක්ද කියාවත් මොවුන්ගෙන් සමහරෙක් නොදනිති. මේවායේ සනීපාරක්ෂක පහසුකම් ද අතිශය දුර්වලය.  සාමාන්‍යයෙන්  සංචාරක හෝටලයක හෝ ආගන්තුක නිවාසයක හෝ කාමරයක රැඳී සිටි අමුත්තකු, යුවළක්  හෝ කණ්ඩායමක් ඉන් පිටව ගිය පසු එම කාමරය සහ ඊට යාබද  නාන කාමරය  මුලුමණින්ම සුද්ධ පවිත්‍ර  කොට ඔවුන්    පාවිච්චි කළ කොට්ට උර ඇඳ ඇතිරිලි   සේම පාපිසි වෙනුවට  පිරිසිදු කළ  වෙනත් ඒවා යෙදීම සාමාන්‍ය  පිළිවෙත බව කවුරුත් දනිති. එහෙත්  මෙම ගණයේ ලැගුම්හල්වල මේ කිසිවක්   නොකෙරේ.  අන් කිසිවක්  තබා සමහර ලැගුම්හල්වල කොට්ට උර සහ ඇඳ ඇතිරිලි සතියකට වරක්වත් මාරු කෙරෙන බවක් පෙනෙන්නට නැත. 


  මේවා බොහොමයක සිදුවන්නේ අලුතින් යුවළක් පැමිණි විට එයාර් ෆේ‍රෂ්නර් එකකින් ඔවුන් ලැගුම් ගන්නා කාමරයේ හපුටු ගඳ යටපත් කිරීම පමණි. සැබැවින්ම  ලිංගික අභිලාෂයන් සංතෘප්ත කර ගැනීම නම් වන තම ප්‍රධාන අරමුණ ඉටුවන නිසා සෙසු කරුණු පිළිබඳව මේවාට පැමිණෙන්නවුන් නොතකනවාද විය හැක. නමුදු  මේවා පරිහරණය කිරීමෙන් ලිංගාශ්‍රිත දිලීර රෝග පවා සම්ප්‍රේෂණය වීමේ පැහැදිලි අවදානමක් පවතී.  කෙසේ හෝ මෙම ඇතැම්   ලැගුම්හල් ඉදිරියේ “ආරක්ෂිත නවාතන් පහසුකම්” යන  හැඳින්වීම සහිත  නාමපුවරුද ප්‍රදර්ශනය කොට තිබේ.   නමුදු මෙහි “ආරක්ෂිත” යනුවෙන්  විශේෂයෙන් පැවසෙනුයේ  එවන් සනීපාරක්ෂක පහසුකමක් පිළිබඳව නොවේ. මින් නොකියා කියනුයේ  එකම දෙයකි. එනම් “මේවාට ‍පොලීසියෙන් පනින්නේ නෑ” යන පණිවුඩයයි.
 ඒ අනුව මෙම   ස්ථාන  මේවා කරා පැමිණෙන්නවුන් හට තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස මුදලට ලබා දෙන අපිරිසිදු යහනකට වඩා වැඩි යමක් නොමැති  සහ ආරක්ෂක අංශවල බලපෑමක් නොමැති ස්ථාන බව පෙනේ.

 
ගම්පහ නගරය  තුළ සිනමාහල් තුනක් ඇතත් ගම්පහ  ටියුෂන් පන්තිවලට  එන ගැටවර ගැටවරියන් ඒවා කෙරෙහි  යොමුවීමේ විශේෂ නැඹුරුවක් නොමැති බව අපි පසුගිය සතියේ කීවෙමු. ඊට ද බලපාන ප්‍රධාන හේතුවක් තිබේ. එනම් ඉහත සඳහන් ලැගුම්හලක පැය දෙක තුනක් සඳහා අය කරන  ගාස්තුවත්  සිනමා හලක බැල්කනි ටිකක් දෙකක ගාස්තුවත් අතරේ වැඩි වෙනසක් නොමැති වීමය. සිනමා හලක චිත්‍රපටයක් නරඹන අතරේ ලිංගිකත්වයට යොමු විය හැකි සීමාවක් තිබේ. නමුත් එම කාලය තුළ  ලැගුම්හලක කාමරයක්  තුළට වැදී  දොරගුළු  ලාගත් විට ලැබෙන නිදහස අසීමාන්තිකය. එවිට විවාහක අඹු සැමියන්  භුක්ති විදින  ඕනෑම ආකාරයක ලිංගික අත්දැකීමක්  භුක්ති විඳීමට මෙම ගැටවර ගැටවරියනට හැකිවේ.

 
මේ ආකාරයෙන් සතියේ දිනවල  එක් දිවා කාලයක් තුළ මෙම ලැගුම්හල්වල  ඇති එක් යහනක්  අඩුම තරමින්  හතර පස් වතාවක් වත් අලෙවි කෙරේ.  ඒ අනුව  සතියේ දිනවල එක් දහවලක් තුළ එකම කාමරය අඩුම තරමින් ජෝඩු  හතර පහකට ලබා දෙන එම ලැගුම්හල් හිමියෝ එමගින් හොඳ ආදායම් ලබති. මේ  තත්ත්වය යටතේ  ගම්පහ නගරය සහ ඒ අවට ලැගුම්හල් ආශ්‍රිතව ඇතැයි අප සිතන යහන් පන්සීයය උපයෝගි කර ගනිමින්  එක් දිනක් තුළ එවන් දෙතුන් ගුණයකට යහන් ගත වීමට අවකාශ ලැබේ. සතියේ දිනවල තත්ත්වය  මෙසේ වන අතර  සෙනසුරාදා  සහ ඉරිදා දිනවල තත්ත්වය මීටත් වඩා බරපතළය. අපගේ  මෙම විමසුමේදී දැන ගන්නට ලැබුණු අන්දමට සති අන්ත දිනවලදී  මෙබඳු ඇතැම් ලැගුම්හල් තුළ  එක් ජෝඩුවක් තම කටයුතු නිමවා එළියට පැමිණෙන තෙක් බලා සිටින ජෝඩු ද දක්නට ලැබේ.

 
“ඉස්සර කොල්ලෙක් කෙල්ලෙක් යාළු වුණාම ඉස්සර වෙලාම යන්නේ චිත්‍රපට හෝල් එකකට; නමුත් දැන් කෙලින්ම යන්නේ “ගෙස්ට් හවුස් එකකට” අප සමාජයේ ඇතැමුන් පවසන  මෙම කතාවේ  අභ්‍යන්තරය කුමක් දැයි දැන් ඔබට මඳ වශයෙන්   හෝ තේරුම් ගැනීමට හැකිවනු  ඇත.

 
තවත් තොරතුරු රැසක් ලබන සතියේ
නිර්මලී ජයනෙත්ති ප්‍රසංග පෙරේරා

No comments:

Post a Comment