Wednesday 19 June 2013

සෞඛ්යව සේවය බිඳ දමමින් ඩෙංගු මර්ධනය කරන්න බැහැ - ගාමිණී කුමාරසිංහ

සෞඛ්‍ය සේවය තුල විශාල බිඳ වැටීමක් සිදුවෙද්දී ඒ සඳහා විසඳුම් නොමැතිව ඩෙංගු රෝගය මර්ධනය කළ නොහැකි බවත් වහා සෞඛ්‍ය සේවය තුල ඇති අර්බුදය සඳහා විසඳුම් ලබා දෙමින් මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ගාමිණී කුමාරසිංහ සහෝදරයා පවසයි. අද දින කොළඹ නිපොන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්
මේ වර්ෂයේ පළමු මාස 5 තුල ඩෙංගු රෝගීන් 14000 ඉක්මවලා තියෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 45 ඉක්මවලා තියෙනවා. මේව වාර්තා කරණ එක සෞඛ්‍ය අමාත්‍යාංශය නතර කරල තියෙන්නෙ. ඒ නිසා මේ ඉලක්කම් පිළිගන්න පුළුවන් ඒවා නොවෙයි. පසුගිය වසරෙ රෝගීන් 44456 ක් වාර්තා වුණා. මෙතෙක් ඉතිහාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක්. ඒ වගේම 2012 වර්ෂයේ ඩෙංගු මරණ 256 ක්. මේ මරණ අතර වෛද්‍යවරු, පාසල් ශිෂ්‍යයින්, නීති විද්‍යාල සිසුන් ආදී ලෙස ඉන්නවා.
අද වන රෝහල්වල බරපතල අඩුපාඩුකම් තියෙනවා. ඩෙංගු රෝගය වැනි රෝගයක් වළක්වගන්න රෝහල්වල විශේෂ පහසුකම් තිබිය යුතුයි. ඩෙංගු රෝගියෙකුට විශේෂයෙන් ඇඳ විවේකය අවශ්‍යයි.  නමුත් රෝගීන් දෙදෙනෙක් එක ඇඳක. රුධිර පරීක්‍ෂණ 2 ක් දිනකට කරන්න  ඕන. නමුත් සිදුවෙන්නෙ එක පරීක්‍ෂණයයි. පුද්ගලික රෝහලකින් පරීක්‍ෂාකරන ලද රුධිර සාම්පලයකින් තමයි අද රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට රෝගියාට ඩෙංගු තිබේද නැත්ද කියා කියන්න සිද්ධ වෙන්නෙ. හෙඳ කාර්ය මණ්ඩලය ඉන්නෙ 50% ක් විතරයි. රුධිර පරීක්‍ෂණ කරන්න අද පරිපූරක කාර්ය මණ්ඩල හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ඩෙංගු රෝගීන් සඳහා රෝහල්වල දැඩි සත්කාර ඒකක 100 ක් පවත්වාගෙන යනවා කියල. මේක සම්පූර්ණ බොරුවක්. ඩෙංගු රෝගීන් සඳහා හදපු එකදු දැඩි සත්කාර ඒකකයක්වත් නැ.
ඒ වගේම තමයි ක්‍ෂේත‍්‍රය තුලත්. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඉන්නෙ 1732 යි. නමුත් 2500 දක්වා ඉහළ දැමිය යුතුයි මේ සංඛ්‍යාව. කීට විද්‍යා සහකාර පරීක්‍ෂකවරු 112 යි. අද අඩුම ගානෙ 1000 ක ප‍්‍රමාණයක්වත් සිටිය යුතුයි. ඒ වගේම උපකරණ හිඟය. බී.ටී.අයි. බැක්ටීරියාව ගේනව කිව්වත් විධිමත්ම ඒක කරේ නැ. ඒ සිදු කරෙත් රටේ ජනතාවගෙන් එන විවේචනවලට පිළිතුරක් විදියට.
නැවත ඩෙංගු මර්ධනයට මුදල් වෙන්කරන එක පවා නවත්වලා තියෙන්නෙ. අද සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළු සපයන ආයතනයක් වෙලා. අද ඇමතිවරයා කියනවා සමහර රටවල් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හෙළිකරන්නෙ නැහැ කියල. ඒක බොරුවක්. අපි අහනව සමහර රටවල් මොනවද කියල. අන්තර් ජාලය නිරීක්‍ෂණය කළොත් ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාවන් බලාගන්න පුළුවන්. මේ කියන්නෙ ඩෙංගු මරණ සංඛ්‍යාව හෙළි නොකිරීම සඳහාත් ආණ්ඩුවට එන විවේචනය වළක්වගන්නත් කරන ප‍්‍රකාශයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් වසර 50 ක් ඇතුළත ඩෙංගු රෝගය 30 ගුණයකින් ඉහළ ගිහිල්ල කියල. මේකෙ වගකීම ලංකාවටත් තියෙනවා.
ඒ නිසා අපි කියනවා
මදුරුවන් මර්ධනය සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි
මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි
ලෝකයේ බොහෝ රටවල් ඩෙංගු මර්ධනය සඳහා වැඩපිළිවෙලක් සකස් කරල තියෙනවා. නමුත් අපේ රටේ එහෙම යොදවපු කාර්ය මණ්ඩලයක් නැහැ. අනෙක් කාර්යයන් කරන ගමන් තමයි ඩෙංගු මර්ධනය කරන්නෙ. ඒ වෙනුවට ජනතාව මත දඩ ගසමින් ආණ්ඩුව කටයුතු කරනවා. අද පළාත් පාලන ආයතන ජනතාව මත බදු ගහල ආදායම් උපයනවා. ඊට පස්සෙ නැවත වතාවක් ජනතාවට දඩ ගසමින් ආදායම් උපයනවා. මේකයි අද තත්වය. පසුගිය කාලය පුරාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි මේ සම්බන්ධව ලිඛිතව දැන්වුවා. මෙම ඩෙංගු මර්ධනය සඳහා ඉක්මන් වැඩපිළිවෙලක් ආණ්ඩුව සැකසිය යුතුයි.
ඒ සඳහා විද්වතුන්ගෙන් හා ප‍්‍රවීණයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් සැකසිය යුතුයි.
එම උපදේශක කමිටුවට අනුව ඩෙංගු මර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශ ඒකාබද්ධ කරගත්ත ඒකාබද්ධ මණ්ඩලයක් සැකසිය යුතුය.
මේ අධි වසංගත තත්වයෙන් වළක්වා ගැනීම සඳහා හදිසි තත්වයක් ප‍්‍රකාශ කළ යුතුයි.
ඒ වගේම රෝහල්වලට අවශ්‍ය පහසුකම් සඳහා මුදල් ලබා දිය යුතුයි.
ඒ වගේම විධිමත් පසුවිපරමක් සැකසිය යුතුයි.
එසේ නොමැතිව දේශපාලන ව්‍යාපෘති හෝ දේශපාලන සංදර්ශන වලින් ඩෙංගු රෝගය මර්ධනයක් සිදුවන්නෙ නැහැ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා සුව සේවා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ, සංගමයේ උප ලේකම් රේණුකා ලියනගේ සහෝදරියද සහභාගී විය.

No comments:

Post a Comment